දකුණු කොරියාවේ ජනපතිවරණයෙන් 'ලිබරල් අපේක්ෂකයාට ජය'

ඡායාරූප මූලාශ්‍රය, EPA
දකුණු කොරියානු ජනතාව විසින් සිය මීළඟ ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මූන් ජේ-ඉන් ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් තෝරා පත් කර ගෙන ඇති බව අවසන් මත විමසුමකින් පෙනී යයි.
එම මත විමසුමට අනුව ප්‍රකාශිත ඡන්දවලින් 41.4 % ක් මූන් ජේ-ඉන් වෙත හිමි වී ඇති අතර ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් අපේක්ෂක හොන්ග් ජුන්-පිව් හිමි කර ගෙන ඇත්තේ 23.3% ක ප්‍රතිශතයකි.
දකුණු කොරියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන මූන් ජේ-ඉන් අසල්වැසි උතුරු කොරියාව සමග සමීප සංවාදයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටී.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයිට එල්ල වූ මහා පරිමාණ දූෂණ චෝදනා හමුවේ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්විණි.
ඒ හමුවේ හිටපු ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ අතර නිසි කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදු වූයේ ඒ සමගය.
අක්‍රමිකතාවලින් 'ගොඩ ඒමට'
දේශපාලනික වශයෙන් උපකාර ලබාගැනීම පිණිස ඇතැම් දකුණු කොරියානු සමාගම්වලට මූල්‍යාධාර ලබාදෙන ලෙස බලකිරීමට තම හිතවතිය හරහා කටයුතු කිරීම පිළිබඳව හිටපු ජනපතිනියට චෝදනා එල්ලවී ඇත.


දකුණු කොරියාවේ විශේෂ හමුදා බලකායක හිටපු සාමාජිකයෙකු වූ මූන් ජේ-ඉන් පසුව මානව හිමිකම් නීතිවේදියෙකු වශයෙන් කටයුතු කළේය.
ඔහු විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ පැවති පාලන සමයේ සිදු වූ අක්‍රමිකතාවලට තිත තබා රට ඉදිරියට රැගෙන යා හැකි පුද්ගලයෙකු වශයෙනි.
2012 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී හිටපු නායිකා පාක් ගුන් හෙයිට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කළ ඔහු ඉන් පරාජයට පත් විය.












