මළවුන් නැගිටීම වැළකීමට මළ සිරුරු කපා දැමූ ගම්වැසියෝ

මධ්‍යතන යුගයේ බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් පළාතේ වාසය කළ ඇතැම් පිරිස් මළවුන්ට කෙතරම් බියපත් වූයේද යත් මළවුන් නැගිටීම වැළැක්වීම් වස් ඔවුන් මළසිරුරු කොටස්වලට කපා දමා, තලා, ඉන් අනතුරුව පුළුස්සා දැමූ බව හෙළි වී තිබේ.
මළසිරුර අනිවාර්යයෙන්ම සුසාන භූමිය තුළ රඳවා තැබීම එහි අරමුණ වූ බව පුරා විද්‍යාඥයන් කළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.
ඒ පිළිබඳව Historic England සංවිධානය සහ සවුතැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණ වාර්තාව, මියගිය පුද්ගලයන් යළි නැගිට ජීවතුන් අතර සිටින පුද්ගලයන්ට හානිකිරීම වැළැක්වීමේ උත්සාහය පිළිබඳව එංගලන්තයේදී හමු වූ පළමු විද්‍යාත්මක සාක්ෂිය ලෙස සැලකේ.
එම අධ්‍යයනය පිළිබඳව වැඩි විස්තර හෙළිකරන The Guardian පුවත්පත, 11 වෙනි ශතවර්ෂයේ සිට 14 වෙනි ශතවර්ෂය අතර කාලය ඇතුළත මියගිය වැඩිහිටියන්, දරුවන් සහ තරුණයන් පිරිසකගේ ඇට කටු අදාළ අධ්‍යයනය සඳහා යොදාගනු ලැබූ බවත් වාර්තාකරයි.
'මොළය තුළ යළිත් ලියන මතකය'

ඡායාරූප මූලාශ්‍රය, F Walsh
මිනිස් මොළය තුළ මතකය තැන්පත් කෙරෙන ආකාරය පිළිබඳව නවතම සොයාගැනීමක් එය සොයාගත් විද්‍යාඥයන් පවා මවිතයට පත්කිරීමට හේතුවිය.
මතකය තැන්පත් කෙරෙන අවස්ථාවේ මිනිස් මොළය "දෙගුණවන බව" ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ඇමෙරිකානු සහ ජපාන විද්‍යාඥයෝ සොයාගත්හ.
ඒ අනුව කිසියම් සිදුවීමක් පිළිබඳ මතකය මොළයේ ස්ථාන දෙකක එක්වරම තැන්පත්වේ. එක් මතකයක් මේ මොහොත සඳහාවන අතර, අනෙක් මතකය මුළු ජීවිත කාලයම සඳහා බව පර්යේෂණයේදී හෙළි වී තිබේ.
මුලින් කෙටිකාලීන මතකයක් ලෙසින් තැන්පත්වන එය, ඉන් අනතුරුව ක්‍රමයෙන් දිගුකාලීන මතකයක් බවට පත්වන්නේය යන්න ඒ පිළිබඳව මෙතෙක් පැවති විශ්වාසයයි.
මේ සොයාගැනීම පිළිබඳව විශ්මය පළ කළ විශේෂඥයෝ, එහෙත් එය විශ්වසනීය සහ අපූරු අත්දැකීමක් බවත් පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මූලික පරීක්ෂණ පවත්වනු ලැබුවේ මීයන් යොදාගෙනවන නමුත් එහි ප්‍රතිඵලය මිනිස් මොළයටද අදාළවන බව විශ්වාස කෙරේ.
බ්‍රෙක්සිට් අවුරුදු 450,000 කට කලින්?
බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නිල ක්‍රියාදාමය පිළිබඳව මේ මොහොතේ සාකච්ඡා කෙරෙන නමුත් ඈත අතීතයේ සිදු වූ 'බ්‍රෙක්සිට් ක්‍රියාදාමයක්' ගැන සාක්ෂි තිබෙන බව හෙළි වී තිබේ.
කලක් බ්‍රිතාන්‍යය සහ යුරෝපය එක් කළ බිම් තීරුව අදින් අවුරුදු 450,000 කට කලින් විනාශ වූයේ කෙසේදැයි සොයාගැනීමට තමන්ට හැකි වූ බව ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ විද්‍යාඥයෝ පවසති.
මීට වසර 450,000 කට පෙරාතුව ඉතා විශාල වැවක් පිටාර ගලා ඇති බව පවසන පර්යේෂකයෝ, එහිදී යුරෝපය සහ බ්‍රිතාන්‍ය එක් කළ බිම් තීරුවට හානි වූ අතර, ඉන් අනතුරුව එය ඩෝවර් සමුද්‍ර සන්ධිය බවට පත් වී ඇතැයිද පෙන්වාදෙති.
එම ජලගැලීම පිළිබඳ සාක්ෂි තවමත් ඉංග්‍රීසි ඕඩයේ පතුලේ දැකගන්නට තිබෙන බවද ඔවුහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Imperial College of London








