පසුගිය සතියේදී නොදැන සිටි කරුණු පහක්

Justin Trudeau

ඡායාරූප මූලාශ්‍රය, AFP

01. වසර ගණනාවකට පෙර පාසල් අවධියේ දී තමා කැනඩාවේ වත්මන් අගමැති ජස්ටින් ට්රූඩෝට පහර දුන්නේ යැයි හොලිවුඩ් නළු මැතිව් පෙරී හෙළි කළ බව 'The Huffington Post' වෙබ් අඩවිය වාර්තා කරයි.

'Friends' රූපවාහිනී කතා මාලාව තුළින් ලොව පුරා ජනප්‍රියත්වය දිනා ගත් රංගන ශිල්පී මැතිව් පෙරී සජීවී වැඩසටහනකට එක් වෙමින් කියා සිටියේ තමන් සහ මිත්‍රයෙකු එවකට කැනඩාවේ එකම පාසලේ ඉගනුම ලත් තමන්ට වඩා වසර කීපයකින් බාල ජස්ටින් ට්රූඩෝට වටකර පහර දුන් බවය.

"යම් කිසි ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ඔහු අපිට වඩා දක්ෂතා පෙන්නුවා. එතන තිබුණේ පැහැදිලි ඊර්ෂ්‍යාව" බව කී මැතිව් පෙරී එය පාසල් වියේ සිදු කරන ලද අනුවණ ක්‍රියාවක් ලෙස හැඳින්වීය.

Jumping spider Phidippus mystaceus feeding on a nematoceran prey (photo by David E. Hill, Peckham Society, Simpsonville, South Carolina)

ඡායාරූප මූලාශ්‍රය, David E Hill

02. ලොව පුරා වෙසෙන මකුළු ගහනය වසරක් තුළ ප්‍රධාන වශයෙන් කෘමි සතුන් ටොන් කෝටි හතළිහත් අසූවත් අතර ප්‍රමාණයක් ගොදුරු කර ගන්නා බව ජීව විද්‍යාඥයන් විසින් ගණනය කරනු ලැබ තිබේ.

ඒ අනුව ආසන්න වශයෙන් මිනිසුන් වසරකට අනුභව කරන මස් සහ මාළුවල බරට සමාන ප්‍රමාණයක් මකුළුවන් ගොදුරු වශයෙන් ආහාරයට ගන්නා බවත් විද්‍යාඥයෝ පවසති.

air pollution

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

03. වායු දූෂණය හේතුවෙන් එල්ලවන බලපෑම්වලින් ආරක්ෂා වී සිටීමට බී විටමින් යම් වශයෙන් උපකාරීවන බව මිනිසුන් යොදා ගනිමින් සිදු කළ කුඩා පරිමාණයේ අත්හදාබැලීමකින් පෙනී යයි.

බී විටමින් අධි මාත්‍රාවකින් වායු දූෂණය හේතුවෙන් සිදුවන හානිය සම්පූර්ණයෙන් මග හරවා ගැනීමේ ඉඩක් පවතින බව ඇමරිකානු පර්යේෂකයෝ පවසති.

දෙමව්පියෝ

04. දරුවන් සිටින ස්ත්‍රීන් සහ පුරුෂයන් වැඩි කාලයක් ජීවත්වන බව පුද්ගලයන් පහළොස් ලක්ෂයක නියැදියක් පදනම් කොටගෙන ස්වීඩනයේ කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.

1911 සිට 1925 දක්වා කාලය තුළ ඉපැදුණු කාන්තාවන් සහ පිරිමින්ගේ ආයු කාලය පිළිබඳව සමීක්ෂණයක යෙදුණු විද්‍යාඥයන් පවසන ආකාරයට දරුවන් නැති පුද්ගලයන්ට වඩා අවම වශයෙන් එක් දරුවෙකු හෝ සිටින පුද්ගලයන්ගේ ජීවිත අවදානම අඩුවේ.

පාන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

05. බිම වැටුණු ආහාරයක් තත්පර පහක් ඇතුළත අනුභව කිරීම සාමාන්‍යයෙන් ආරක්ෂාකාරී යැයි විද්‍යාඥයෝ පවසන බව ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි.

විෂබීජ පිළිබඳ විශේෂඥයෙකු වන ඇස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්තනි හිල්ටන් කියා සිටියේ බිම වැටුණු ආහාර කැබැල්ල සම්පූර්ණ වශයෙන් අවදානමින් මිදී නොතිබුණත් එය බිම පතිත වී තිබුණේ නිමේශයක් පමණක් නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඉතා අඩුවෙන් බවය.