'සදාම් හුසේන් හිටියානම් කලාපයටම යහපතක්’

ජෝන් නික්සන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝන් නික්සන්

සදාම් හුසේන් පාලනය පෙරලා දමනු ලැබීමෙන් පසු ඉරාකයේ උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වෙන බව ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) හිටපු නියෝජිතයෙක් පවසයි.

ඉරාක් යුද්ධය පරාජය වී පළාගොස් සැඟව සිටිය දී 2003 දෙසැම්බර් මාසයේ අල්ලාගත් සදාම් හුසේන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ ජෝන් නික්සන් (John Nixon) නම් එම සීඅයිඒ නියෝජිතයා විසිනි.

ඔහු මුලින් කී ප්‍රකාශය කළේ බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.

සදාම් පාලනය බිඳ හෙළනු ලැබීමෙන් අනතුරුව ඉරාකයේ කවර තත්වයක් උද්ගත වේද යන්න සම්බන්ධයෙන් බුෂ් පරිපාලනයට අදහසක් නොවූ බවත් ජෝන් නික්සන් පවසයි.

ඊනියා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල නැඟීම ගැන අවධානය යොමුකළ ජෝන් නික්සන් 'සදාම් හුසේන් ඉරාක් පාලනයේ දිගටම රැඳී සිටියේනම් කලාපය වඩාත් යහපත් තත්වයක පවතිනු ඇත' යන්න සිය විශ්වාසය බවත් සඳහන් කළේය.

සදාම් හුසේන් අල්ලා ගැනීමෙන් අනතුරුව
ඡායාරූප ශීර්ෂ වැකිය, සදාම් හුසේන් අල්ලා ගැනීමෙන් අනතුරුව

එය 2003 දී ඉරාකය ආක්‍රමණය කිරීමට හවුල් වූ බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් බැහැර කරනු ලැබුණ අදහසකි.

ඇමෙරිකානු රහස් ඔත්තු අංශ වෙනුවෙන් 1998 පටන් ඉරාක් නායකයා අධ්‍යනය කළ පුද්ගලයකු වන ජෝන් නික්සන් වැඩිදුරටත් අදහස් දක්වමින් , සදාම් හුසේන් යනු CIA සංවිධානය මගින් නිරූපණය කළ ආකාරයේ පුද්ගලයකු නොව 'ඔහු අභ්‍යන්තරයේ මානුෂික පැත්තක් දක්නට ලැබුණ' බව පවසයි.

සදාම් හුසේන් යනු තම ජීවිත කාලය තුළ මුණගැසුන වඩාත්ම ආකර්ශනීය පුද්ගලයා වන බව පවසන ජෝන් නික්සන්, සදාම්ට අවශ්‍ය මොහොතේ ඔහු චාම් යහපත් සහ විනෝදශීලී මෙන්ම ආචාරශීලී පුද්ගලයකු වූ බවයි පවසන්නේ.

ජෝන් නික්සන් 2011 වසරේ ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයෙන් ඉවත්විය.