ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකානු ජනාධිපතිවරණය;කෝටි හතරක් දැනටමත් ඡන්දය දී අවසන්
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය විමසීම හෙට (නොවැ. 08) නිල වශයෙන් ආරම්භවීමට නියමිතව තිබුණ ද දැනටමත් කෝටි හතරකට අධික ඡන්දදායකයන් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශකර අවසන් බව වොෂිංටනයේ 'තුලේන්' සරසවියේ තුලනාත්මක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෑම් සමරසිංහ පවසයි.
බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කරමින් මහාචාර්යවරයා සඳහන් කළේ ,ඇමෙරිකානු මැතිවරණ නීතිය සම්බන්ධයෙන් ප්‍රාන්ත අතර වෙනස්කම් පවතින අතර ඇතැම් ප්‍රාන්තවල ඡන්දදායකයන්ට කල්තබා ඡන්දය ප්‍රකාශකළ හැකි බවය.
එවැනි මැතිවරණ ක්‍රමයක් නිසා ජනාධිපතිවරණ දිනය වෙද්දී එක අපේක්ෂකයකුට වාසිදායක තත්වයක් ද තවත් අපේක්ෂකයකුට අවාසිදායක තත්වයක් ද අත්විය හැකි නොවේදැයි බීබීසිය විමසීමක් කළවිට ඊට පිළිතුරු දුන් මහාචාර්ය සෑම් සමරසිංහ 'ශ්‍රී ලංකාවේ 1956 මහමැතිවරණය දිනතුනක් පැවති අතර එමගින් පළමු දිනයේ ජය වාර්තා කළ පක්ෂයට ඉතිරි දින දෙකේ විශේෂ වාසියක් අත්කළත්' ඇමෙරිකා එක්සත් ජනපදයේ එවැනි ප්‍රවණතා දුලබ බව පෙන්වා දුන්නේය.
කෙසේවුවද, ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින ප්‍රධාන අපේක්ෂකයා සහ අපේක්ෂිකාව අතර මේවනවිට කරට කර සටනක් පවතින බව මහාචාර්ය සමරසිංහ පවසයි.
ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මේවනවිට 4% ක් පමණ ඉදිරියෙන් සිටින බව සඳහන් කළ මහාචාර්යවරයා ඇමෙරිකානු ජනාධිපතිවරණයකදී එම තත්වය ජාතික මට්ටමින් 5%ක් හෝ ඇතැම්විට එම මට්ටම ඉක්මවා ගියහොත් එවැනි මහජන සහයෝගයක් සහිත අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව නියතවම ජයගන්නා බව සඳහන් කළේය.
හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට FBI හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පසුගිය සතියේ කළ ප්‍රකාශයක් සමඟ හිලරි ක්ලින්ටන් වෙත පළ වූ මහජන මනාපයේ වෙනසක් සිදුවුනත් මේවනවිට එම තත්වයේ යළි වෙනසක් සිදු වෙමින් පවතින බව මහාචාර්ය සෑම් සමරසිංහ පවසයි.
හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හැරුනවිට මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයට තවත් තරගකරුවන් දෙදෙනකු සහ තරගකාරියක ඉදිරිපත්ව සිටින නමුත් ඔවුන්ට ඇති මහජන සහයෝගය 5% ත් වඩා අඩු බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.