ලොව පුරා මිලියන 65ක් සරණාගතයෝ: එක්සත් ජාතීන්

Refugees wait for registration process prior to the asylum procedure at the Helliniko refugee camp in Athens on 13 June

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සංක්‍රමණිකයන් සහ අනාථයන් ගලා ඒම සීමාකිරීම පිණිස යුරෝපය විසින් විවිධ ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබේ

ලොව පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් ඉතිහාසයේ වැඩිම සරණාගතයන් සංඛ්‍යාව වාර්තා වී තිබෙන බව අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.

2015 වසර අවසානය වන විට ලොව පුරා මිලියන 65.3 ක් අනාථයන්, දේශපාලන රැකවරණ පතන්නන් හෝ රට තුලම අවතැන් වූවන් බවට පත් වී සිටි බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙන්නේ.

එම ඇස්තමේන්තු අනුව ලොව පුරා සිටින සෑම පුද්ගලයන් 113 දෙනකුටම එක් අයෙක් සරණාගතයෙක්.

ඒ අතරම සංක්‍රමණිකයන් සම්බන්ධ අර්බුදයක පැටලී සිටින යුරෝපය පුරා 'විදේශිකයන් නොරිස්සීමේ' ඉතා බරපතල ප්‍රවණතාවයක් මතුවෙමින් තිබෙන බවත් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රධානියා පවසයි.

A displaced woman sits on a water can as she waits with her child to during a water distribute by agents from the UN System in a refugees camp of Kidjendi, around Diffa, southeastern Niger, on June 19, 2016.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බොකෝ හරාම් කැරලිකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පලා ආ සරණාගත කාන්තාවක් සහ ඇය ගේ දරුවා

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපයට මෙතරම් විශාල ප්‍රමාණයක් සංක්‍රමණිකයන් ගලා එන පළමු වතාව මෙයයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වලට ලැබෙන සහයෝගය උත්සන්න වීමට හේතුවිය.

අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිති කරගෙන සිය වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරන එක්සත් ජාතාන්ගේ ආයතනය පවසන්නේ ලොව පුරා වෙසෙන සරණාගතයන් සංඛ්‍යාව මිලියන 60 කට වඩා ඉහල ගිය ප්‍රථම වතාව මෙය බවයි.

එයින් අඩකටත් වැඩි ප්‍රමාණයක් පැමිණ තිබෙන්නේ රටවල් තුනකින්: ඒ සිරියාව, ඇෆ්ඝනිස්තානය සහ සෝමාලියාවයි.

යුරෝපයේ සංක්‍රමණික අර්බුදය පිළිබඳව ලොව පුරාම අවධානය පලවෙමින් තිබෙන නමුත්, ලෝකයේ අනාථයන්ගෙන් 86% කටම රැකවරණය සලසන්නේ මැදි ආදායම් සහිත රටවල් විසින් බවත් වාර්තාවේ සඳහන්.

සරණාගතයන් මිලියන 2.5 කට රැකවරණය සලසමින් තුර්කිය ඉදිරියෙන්ම සිටින අතර, දෙවැනි සහ තුන් වැනි ස්ථාන හිමිවන්නේ පාකිස්තානය සහ ලෙබනනයට.

People try to jump in the water right before their boat overturns off the Libyan coast on 25 May

ඡායාරූප මූලාශ්‍රය, Italian Navy/AP

ඡායාරූප ශීර්ෂ වැකිය, යුරෝපයට ලඟා වීමේ අරමුණින් දහස් ගණන් ජනතාව ඉතා භයානක චාරිකාවල යෙදී සිටිති

සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ඇස්තමේන්තු ප්‍රකාර සංක්‍රමණිකයන් දස ලක්ෂ එකොල්ස් දහස් හත්සියයකට වැඩි පිරිසක් පසුගිය වසරේ මුහුදු මාර්ගයෙන් යුරෝපයට ලඟා වූහ. එහෙත් එම සංඛ්‍යාව ඊට වඩා ඉතා ඉහල බවයි වෙනත් ආයතන පවසන්නේ.

සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසන පරිදි තවත් 35,000 ක් දෙනා ගොඩබිමින් යුරෝපයට පැමිණියහ.

ඔවුන්ගෙන් බොහෝ දෙනාගේ අපේක්ෂාව වූයේ ජර්මනිය සහ ස්වීඩනය වැනි ධනවත් උතුරු යුරෝපා රටවලට ළඟාවීම.

2015 දී දේශපාලන රැකවරණ පැතූ අයදුම්පත් බහුතරය ඉදිරිපත් වී තිබෙන්නේ ජර්මනියේදී වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ස්වීඩනයට පිළිවෙලින් දෙවැනි සහ තුන් වෙනි ස්ථාන හිමි වේ.