ශ්‍රී ලාංකික සරණාගතයන්ට ඉන්දුනීසියාවේ නවාතැන්

හතළිස් දෙනකුට අධික ශ්‍රී ලාංකික දමිළ අනාථයන් රැඳී සිටින බෝට්ටුවක් ගොඩ බිමට ඇද ගෙන ඒමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටින බව ජකර්තා නගරයෙන් වාර්තා වෙයි.
බෝට්ටුව මුහුද මැද යාන්ත්‍රික දෝෂයකට ගොදුරු වී ඇත්තේ ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් තිබුණ අතරයි.
තමිල්නාඩුවේ ජීවත් වූ ශ්‍රී ලාංකික දමිළ සරණාගතයන් යයි සැලකෙන එම කණ්ඩායම රැගත් බෝට්ටුව ඉන්දුනීසියාවේ අචේ පළාත අසලදීයි යාන්ත්‍රික දෝෂයකට ගොදුරු වුණේ.
ඉන් අනතුරුව 'අචේ' නිලධාරීන් බෝට්ටුවේ එන්ජිම යථා තත්වයට පත් කොට එය නොගැඹුරු මහුදට ගෙන ඒමට කටයුතු කළ අතර එහි සිටින කණ්ඩායම දින කීපයක් දියඹේ සිර වී සිටිති.
ගර්භනී කාන්තාවක් සහ ළමුන් නව දෙනෙක් බෝට්ටුව තුළ සිටින බවයි ප්‍රකාශ කර තිබෙන්නේ.

බෝට්ටුව තමිල්නාඩුවේ සිට ගමන් ආරම්භ කොට මේ වන විට මාසයක් පමණ කාලයක් ගත වී ඇති බවත් පැවසෙයි.
එම සරණාගතයන්ට තාවකාලිකව නවාතැන් දෙන මෙන් ඉන්දුනීසියානු උප ජනාධිපති යූසුෆ් කල්ලා අචේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන වාර්තාවක් මගින් පැවසෙන්නේ සරණාගතයන් කණ්ඩායම බෝට්ටුවෙන් බැස ගොඩ බිමට පා තබද්දී ඉන්දුනීසියානු හමුදා භටයන් අනතුරු අඟවමින් අහසට වෙඩි තබන ලද බවයි.








