ක්‍රිකට් කඩාවැටුනේ 'අර්ජුන ඇතුළු අතුරු පාලක මණ්ඩල නිසා'

'වර්තමාන පාලක මණ්ඩලය නෙවෙයි ක්‍රිකට් බිඳවැටීමට හේතුව. ඔහුත් (අමාත්‍ය අර්ජුන) එක්කම හිටපු අතුරු පාලක මණ්ඩල තමයි සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ' - අමාත්‍ය දයාසිරි
ඡායාරූප ශීර්ෂ වැකිය, 'වර්තමාන පාලක මණ්ඩලය නෙවෙයි ක්‍රිකට් බිඳවැටීමට හේතුව. ඔහුත් (අමාත්‍ය අර්ජුන) එක්කම හිටපු අතුරු පාලක මණ්ඩල තමයි සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ' - අමාත්‍ය දයාසිරි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටීමට ප්‍රධානම හේතුව අර්ජුන රණතුංග අමාත්‍යවරයාද වරක් සභාපති පදවිය හෙබැවූ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳවැටීම වලක්වා ගැනීම පිණිස <link type="page"><caption> අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බවට</caption><url href="http://www.bbc.com/sinhala/sport/2016/04/160405_smbp_lanka_cricket_arjuna_aravinda" platform="highweb"/></link> අමාත්‍ය අර්ජුන රණතුංග පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

"වර්තමාන පාලක මණ්ඩලය නෙවෙයි ක්‍රිකට් බිඳවැටීමට හේතුව. ඔහුත් එක්කම හිටපු අතුරු පාලක මණ්ඩල තමයි සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ," පවසන අමාත්‍යවරයා යළිත් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමේ යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරයි.

අයිසීසී 'තහනම'

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යළිත් වරක් අතුරු පාලක මණ්ඩලයක් අනවශ්‍ය බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍යවරයා, අමාත්‍ය රණතුංගට අවශ්‍ය නම් වරායට අතුරු පාලක මණ්ඩලයක් පත්කරගැනීම පිළිබඳව සිය විරෝධයක් නැති බවත් සඳහන් කළේය.

"සමහර කැප්ටන්ලා කැමති නෑ තව ලෝක කුසලානයක් ලංකාවට අරන් එනවට. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනව."

තිලංග සුමතිපාලට අයිසීසී රැස්වීම්වලට සහභාගි වීමේ 'තහනමක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, තිලංග සුමතිපාලට අයිසීසී රැස්වීම්වලට සහභාගි වීමේ 'තහනමක් නෑ'

ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඉදිරි වසර පහක සංවර්ධන වැඩසටහනක් දියත් කිරීමට නිලවරණයකින් බලයට පත්වූ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයට අවස්තාව ලබා දිය යුතු බවයි අමාත්‍ය ජයසේකර අවධාරණය කරන්නේ.

"පහුගිය අතුරු කමිටු තිබිච්ච කාල වකවානුවල අපි දැක්ක ස්ථාවරව වැඩපිළිවෙලක් සහිතව ක්‍රියාත්මක නොවුණු තත්වයක්. දැන් ඒකට ස්ථාවර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා,"අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

විස්සයි විස්ස ලෝක ශූරතාවලියේදී දස්කම් අතරට නොපැමිණීම හේතුවෙන් පමණක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටී ඇතැයි තමන් පිළිනොගන්නා බවයි අමාත්‍ය ජයසේකර පවසන්නේ.

<link type="page"><caption> අමාත්‍ය රණතුංග පවසන පරිදි</caption><url href="http://www.bbc.com/sinhala/sport/2016/04/160405_smbp_lanka_cricket_arjuna_aravinda" platform="highweb"/></link> ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලට අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි වීමේ තහනමක් පණවා තිබෙන්නේ දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ එවැනි තහනමක් පිළිබඳව තමන් නොදන්නා බවයි.

"එහෙම එකක් දාල නෑ. ඔහුගේ සහෝදරයත්, නිශාන්ත රණතුංගත් ඉන්න කාලේ ඔහු තමයි අයිසීසී එකේ රැස්වීම්වලට ගියේ," බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ නමුත් අදාළ ගැටලුවලට පිළිතුරු සොයාගැනීම පිණිස තිලංග සුමතිපාල සභාපතිවරයාට කාල නියමයක් ලබා දී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.