'ශ්‍රී ලන්කන්' කළමනාකාරිත්වය පෞද්ගලික අංශයට

කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරීම යනු සමාගම විකුණා දැමීමක් නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ
ඡායාරූප ශීර්ෂ වැකිය, කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරීම යනු සමාගම විකුණා දැමීමක් නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ

දැනට රුපියල් කෝටි සියයකට ආසන්න පාඩුවක් ලබා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වයේ වෙනසක් සිදු නොකොට එය පවත්වාගෙන යා නොහැකි බව මුදල් පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

එබැවින් අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ විශේෂ කමිටුවක් විසින් මේ සඳහා සැලසුම් සකස් කොට ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවත් වූ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ.

“මේ වගේ දුවන්න බැහැ. නවසිය අනූ අටක් කියන්නෙ බිලියනයක්. බිලියනයක් භාණ්ඩාගාරයකට ඔරොත්තු දෙන්නෙ නැහැ. ඒ නිසා සම්පුර්ණයෙන්ම වෙනසක් සිදු කළ යුතුමයි” යනුවෙනුයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එමිරේට්ස් සමාගමේ කළමනාකාරිත්වය යටතේ පැවති කාලය තුළ ලාභ ලබා බදු ගෙවීම ද සිදු කළ බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Boeng

ඡායාරූප ශීර්ෂ වැකිය, එමිරේට්ස් සමාගමේ කළමනාකාරිත්වය යටතේ පැවති කාලය තුළ ලාභ ලබා බදු ගෙවීම ද සිදු කළ බවයි පැවසෙන්නේ

එමිරේට්ස්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2009 වසරේ දී ලාභ ලැබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ එමිරේට්ස් සමාගමේ කළමනාකාරිත්වය යටතේ පැවති කාලය තුළ ලාභ ලබා බදු ගෙවීම ද සිදු කළ බවයි. එබැවින් කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරීම යනු සමාගම විකුණා දැමීමක් නොවන බවයි අවධාරණය කළේ.

පෞද්ගලික අංශයට කළමනාකරණය භාර දීමෙන් සාර්ථකත්වයට පත් වූ තවත් අංශයක් වන්නේ වැවිලි කර්මාන්තය බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“මොනව වුනත් වතු පාලනය කරන්නෙ අද පෞද්ගලික සමාගම් වලින්. අද තිබුණ නන් අපිට මීට වැඩිය විශාල ප්‍රශ්නයක් ඇතිවෙනව” යනුවෙන් ඔහු පැවසීය.

වීදි සටන්

වීදි සටන් වලින් ජනතාව කරන ඉල්ලීම් ලබා දීම 12% ක රාජ්‍ය ආදායමත් සමග කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය ඉල්ලීම් ලබා දීම සම්බන්ධයෙන් උපරිමය දක්වා කටයුතු කර ඇති හෙයින් රාජ්‍ය අදායම වැඩිකර නොගෙන තවත් ඉල්ලීම් ලබා දීම කළ නොහැකි බවයි පෙන්වා දුන්නේ.

ශ්‍රී ලන්කන් සමාගම කෝටි සියයක පාඩුවක් ලබා ඇති බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, srilankancatering.com

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලන්කන් සමාගම කෝටි සියයක පාඩුවක් ලබා ඇති බවයි පැවසෙන්නේ

“රාජ්‍ය ආදායම වැඩිකර ගන්න බැහැ මේ වගේ කාබාසිනියා කරන රාජ්‍ය ආයතන තියෙද්දී. එතකොට මේ රාජ්‍ය ආයතන වෙනස් වෙන්න ඕන. සී ටී බී එකේ ඉන්නව දහ දාහක් නිකම් වැටුප් ගන්න. ඉතිං කොහොමද දුවන්නෙ. ඒවා ‘රි ස්ට්‍රක්චර්’ කරන්නෙ නැතුව මොකක්ද කරන්නෙ? ” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

වරාය නගරය

මේ අතර වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට කරුණු දක්වමින් මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය අදාළ චීන සමාගම සමග ගිවිසුමකට එළැඹ ඇත්නම් ආණ්ඩුවක් ලෙස නිසැකවම එයට අනුකුලව බවයි. වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවනු ලැබුවෙ සංචාරක ව්‍යාපාරයෙන් පැමිණි චෝදනා සලකා බැලීම සඳහා පමණක් බවයි ඔහු පැවසුවේ.

පරිසර වාර්තාවේ ප්‍රශ්නයක් තිබු නමුත් දැන් ඒ මගින් අනුමැතිය ලැබී ඇති හෙයින් ව්‍යාපෘතිය නවත්වා තැබීම සම්බන්ධයෙන් ගෙවීමට සිදුව ඇති දඩ මුදල පිළිබඳව සාකච්ඡාවෙන් විසඳාගැනීමට අපේක්‍ෂා කරන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

එවැනි විශාල දඩ මුදලක් ගෙවීමට සිදු වූයේ ව්‍යාපෘතිය නතර කර තිබූ නිසා නේදැයි ඇසූ විට නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අවස්ථාවේ ගත යුතුව තිබූ නිවැරදි තීරණය එය බවයි.

“පරිසර අනුමැතියක් නැතිව අපි ඒක කරගෙන ගියා නම් අපිට කියන්න බැහැනෙ කොච්චර අලාභයක් රටට වෙන්න තිබුණ ද කියල” යනුවෙන් ඔහු පැවසීය.