මහින්දගේ ආරක්ෂාව අඩු කරන්නේ නෑ - ආණ්ඩුව

හිටපු ජනපතිගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා නිලධාරීන් 103 ක් සහ පොලිස් නිලධාරීන් 103 ක් යොදවා ඇති බව ආණ්ඩුව පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Rahul Samantha Hettiarachchi

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපතිගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා නිලධාරීන් 103 ක් සහ පොලිස් නිලධාරීන් 103 ක් යොදවා ඇති බව ආණ්ඩුව පවසයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි හමුදා භටයන් කිසිවකුත් ඉවත්කර හෝ අඩු කොට නොමැති බව ආණ්ඩුව පවසයි.

සභානායක සහ මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ඒ බව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි හමුදා භටයන් ඉවත්කර පොලිස් ආරක්ෂාව සැපයීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණය වහාම නවතා දමා, දැනට දී තිබෙන ආරක්ෂාව තවදුරටත් වැඩි කරන මෙන් විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

හිටපු ජනපතිවරයාගේ ජීවිතය ආරක්ෂා කිරීම විරුද්ධ පක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේද අභිප්‍රාය බව සඳහන් කළ සභානායකවරයා, එබැවින් ආරක්ෂාව කිසිදු ලෙසකින් අඩු කර නැති බවත් පැවසීය.

හිටපු ජනපතිනියගේ ආරක්ෂාව අඩු කිරීමට උත්සාහ කළ බවට හිටපු ජනපති මහින්දට චෝදනා
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපතිනියගේ ආරක්ෂාව අඩු කිරීමට උත්සාහ කළ බවට හිටපු ජනපති මහින්දට චෝදනා

"හමුදාවෙන් 103 ක් දීල තියෙනව එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන්. පොලීසියෙන් 103 ක් දීල තියෙනව. අපි අයින් කරලා නෑ," අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල පැවසීය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ, දැනට හමුදා භටයන් 103 ක් සිටින නමුත් ලබන මැයි මාසය වනවිට ඔවුන් ඉවත් කරන මෙන් ආණ්ඩුව නියෝග කර තිබෙන බවයි.

එහෙත් එවැනි සූදානමක් නැතැයි බදාදා උදය වරුවේත් ආරක්ෂක අංශ තමන්ට දැනුම් දුන් බව එයට ප්‍රතිචාර වශයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යළිත් වරක් පැවසීය.

ඒ පිළිබඳව පැවති උණුසුම් විවාදයේදී අදහස් දැක්වූ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් තිස් දෙනෙකු දක්වා අඩු කිරීමට යුද්ධය පැවති සමයේම රාජපක්ෂ පාලනය තීරණය කළ බව සිහිපත් කළේය.

'හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් තිස් දෙනෙකු දක්වා අඩු කිරීමට යුද්ධය පැවති සමයේම රාජපක්ෂ පාලනය තීරණය කළා'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් තිස් දෙනෙකු දක්වා අඩු කිරීමට යුද්ධය පැවති සමයේම රාජපක්ෂ පාලනය තීරණය කළා'

"එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටත් ත්‍රස්තවාදී ප්‍රහාරයකුත් එල්ල වෙලා තිබුණේ. ඒක ක්‍රියාත්මක කරන්න හදන කොට ආරක්ෂක මණ්ඩලයේ විරුද්ධ වුනේ මම විතරයි," සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් ආගමික උත්සවයකට සහභාගි වෙමින් සිටියදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ සිය ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි හමුදා භටයන් සියලු දෙනා ඉවත්කර ඇති බවයි.