‘හොරකම් කරලා හොරකම් කරලා අද නිකන් ඉන්න බැරිව ඇති’

ඡායාරූප මූලාශ්‍රය, ONUR

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා කොළඹ දී පැවැත්වූ රැළිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

වේයන්ගොඩ ප්‍රදේශයේ කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කරන වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි හිටපු ජනාධිපතිනිය ඒ බව සඳහන් කළේ.

"අද කුණු කසල ගැන කතා කරන නිසා ඊයේ රැස්වීම ගැන කතා කරන එක හොඳයි කියලා මම හිතනවා. හොරකම් කරලා, හොරකම් කරලා අද නිකන් ඉන්න බැරිව ඇති. ඒක කවුරුත් ගණන් ගන්නේ නැහැ," හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

"එයා අවුරුදු නමයක් රට කරපු හැටි අපි දැක්කනේ? මිනිස්සු ඒකනේ එයාව පන්න ගත්තේ."

යහපාලන ආණ්ඩුව යටතේ 'හොරකම් කිරීමට නොහැකි' බැවින් මහින්ද රාජපක්ෂ රජය යටතේ 'හොරකම් කිරීමට පුරුදුව සිටි' මන්ත්‍රීවරුන් තවමත් හිටපු ජනාධිපතිවරයාට සහාය දෙන බවයි ඇය සඳහන් කළේ.

"යහපාලනය යටතේ හොරකම් කරන්න බැරි නිසා හොරකම් කරපු මන්ත්‍රීලා ටිකක් එයත් එක්ක ඇති."

අතීතයේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කළ බව පවසන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, බ්‍රහස්පතින්දා පැවැත්වුණු රැලියද එවැනි තවත් උත්සාහයක් බවට ඉඟියක්ද පළ කළාය.

"ඔය මහින්ද රාජපක්ෂම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න හැදුවා. සිරිමාවෝ මැතිනිය පන්නන්න 1980 වේ, ඊයේ කෙරුවා වාගේ."

කෙසේ නමුත් තමා කිසි දිනක පක්ෂය දෙකඩ කීරීමට කටයුතු කර නොමැති බවයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.