සාම්පූර්: ඉඩම් ලැබුණත් මායිම් ගැටළු

වසර දහයකට පසුව නැවත පදිංචි වූ නැගෙනහිර පළාතේ සාම්පූර් වැසියන් තම ඉඩම්වල මායිම් සම්බන්ධ ගැටළුවකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
නැවත පදිංචි වී සතියක කාලය තුළ ඉඩම් වල මායිම් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් හතරදෙනෙකු තුවාල ලබා ඇති බවයි ප්‍රාදේශීය වාර්තා පවසන්නේ.

සාම්පූර් වැසියෙකු සහ සමාජ ක්‍රියාධරයෙකු ද වන රත්නම් රවීන්ද්‍රන් පැවසුවේ මායිම් හඳුනාගැනීම අපහසු වී ඇත්තේ කිසිදු ගොඩනැගිල්ලක කොටසක් හෝ වෙනත් සලකුණක් ඉතිරිව නොතිබීම බවයි.
එසේම මෙම ප්‍රදේශයෙන් යුද සමයට අයත් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනු ලැබීමෙන් පසු ජනතාව තම ඉඩම් එලි පෙහෙළි කිරීමට බියක් දක්වන බවද ඔහු සඳහන් කළේය.
“තමන්ගේ ඉඩම් සුද්ද කරන කොට විශේෂයෙන් ගොඩනැගිලි සුන් බුන් අතර හෝ ලිං වල පුපුරණ දේවල් තියෙයි කියන බය ජනතාව තුළ තියනව. ඒ හින්ද බයෙන් තමයි සුද්ද කරන්නෙ. හේතුව ඊයේ ලිඳක් සුද්ද කරන කොට උණ්ඩ දෙකක් හම්බවෙලා පොලීසියට දීල තියනව. ඒව පුපුරා ගියෙ නැති මිලිමීටර් හතළිහේ උණ්ඩ. ඒ නිසයි ජනතාව බියෙන් ඉන්නෙ” යනුවෙන් ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, bbc
පළාත් පාලන ආයතන මැදිහත් වී එම ඉඩම් එළිපෙහෙලි කර දෙන්නේ නම් වඩා හොඳ බවත් එසේම ඉඩම්වල මායිම් පිලිබඳ ප්‍රශ්න විසඳාදීම සඳහා ද රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර කලින් නාවුක හමුදාව සතුව තිබූ සාම්පූර් 7 ප්‍රදේශයේ කෝවිල ආසන්න ලිඳක තිබී මෝටාර් උණ්ඩ හතලිස් හතරක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒවා විනාශ කිරීමට මුත්තුර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සද්ධාපුර විශේෂ කාර්ය බලකායට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.




