මත්තල සතුන් එළවීමට යුධ හමුදා මෙහෙයුමක්

ඡායාරූප මූලාශ්‍රය, bbc

මත්තල ගුවන් තොටුපල ගුවන් පථය අශ්‍රිතව සිටින මුවන්, වල් ඌරන් වැනි සතුන් එම ප්‍රදේශයෙන් ඉවත්කිරීම සඳහා අද (16) දින ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

මෙම මෙහෙයුම සදහා වනජීවී නිලධාරින් මෙන්ම හමුදා භට පිරිස් 350 දෙනෙකු පමණ සහභාගි වී සිටි බවයි එහි ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිඅරාච්චි වාර්තා කරන්නේ.

ගුවන්තොටුපල පරිශ්‍රයේ වැඩකටයුතු සදහා බාධාවක් විය හැකි සතුන් ඉවත්කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම දියත් කල බවයි ගුවන්තොටුපල කළමනාකරු උපුල් කලන්සූරිය කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, bbc

මුවන් හා වල් ඌරන් වැනි සතුන් විශාල ප්‍රමාණයක් අද දින මත්තල ගුවන් තොටුපල පරිශ්‍රයෙන් ඉවත් කිරීමට හමුදා බටපිරිස් සමත් වී තිබේ.

මත්තල ප්‍රදේශය නිරන්තරයෙන් වන සතුන් ගැවසුණු ප්‍රදේශයක් වන අතර ඒ නිසාම එම ප්‍රදේශයේ ගුවන් තොටුපලක් ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර සංවිධානවල දැඩි විරෝධයද එල්ලවිය.

අවස්ථා කිහිපයකම කුරුල්ලන් ගැටීම නිසා ගුවන් යානා වලටද අලාභ හානි සිදු විය.

මේවනවිට මත්තල ගුවන් තොටුපල භාවිතා කරන්නේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය පමණි.