ඇමතිවරු මට කතා කළා - ලැසිල්

වත්මන් රජයේ සුළු ජාතික අමාත්‍යවරුන් දෙදෙනකු බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු පිළිබඳව තමන් සමග සාකච්ඡා කළ බව එම කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.
කෙසේවුවද කොමිසමේ ලේකම් පදවියේ සිය සේවා කාලය දීර්ඝ නොකළේ එම අමාත්‍යවරුන්ගේ බලපෑම මත දැයි නොදන්නා බවත් හිටපු ලේකම්වරයා පැවසීය.
ලැසිල් ද සිල්වා ඒ බව කියා සිටියේ, ඔහුගේ සේවය දීර්ඝ නොකිරීමට හේතුව පරීක්ෂණවලට මුහුණ දී සිටින අමාත්‍යවරුන් පිරිසකගේ බලපෑම බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.
මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ තමාගේ ඥාතියෙකු බව පිළිගත් ලැසිල් ද සිල්වා, එහෙත් එම ඥාතිත්වය හේතුවෙන් බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පරීක්ෂණ වලට කිසිදු බලපෑමක් සිදු නොවූ බව වැඩිදුරටත් පැවසීය.
"අද පත්තරේක තිබුණා ‘ලැසිල් බැසිල්ගේ ෆයිල් විසි එකක් විසි කරලා’ කියල. ඇත්තෙන්ම මම ඒ වගේ දේවල් කරන කෙනෙක් නෙවෙයි. ඒක සොයල බලන්න පුළුවන්, විමර්ෂණය කරලා බලන්න පුළුවන්. මම කැමතියි එහෙම දෙයක් තියනව නම් විමර්ෂණය කරනවට," යනුවෙන් ඔහු සිය නිර්දෝෂීභාවය පිළිබඳව අදහස් දැක්වීය.
බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කළේ වසරක කාලයකට බැවින් තමා ගේ පත්වීමද වසරක කාලයකට සීමා වන නමුත් නිල කාලය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තමා දැනුවත්ව නොසිටි බවයි හිටපු ලේකම්වරයා සංදේශයට කියා සිටියේ.
තමාගේ සේවා කාලය දීර්ඝ නොකරන බවට තීරණයක් ගෙන නොතිබූ බැවින් ස්වභාවිකවම සේවා කාලය දීර්ඝ වනු ඇතැයි යන්න සිය විශ්වාසය වූ බව පැවසූ ඔහු ඇතිවූ තත්වය පිලිබඳ ව තමන් විමතියට පත් වූ බව ද පැවසීය.
කොමිසමේ තොරතුරු පිටවීම සම්බන්ධයෙන් ඔහුට ඇති චෝදනාව පිලිබඳ අදහස් දැක්වූ ලැසිල් ද සිල්වා, ඇතැම්විට එවැනි පරීක්ෂණයක් පවත්වනවාද යන්න තමාගෙන් විමසූ අවස්ථාවල දී තමාට බොරු කීමට නොහැකි නිසා පරීක්ෂණයක් පැවැත්වෙන බව පැවසුවා විනා කිසිවෙකුටත් අපහාස කිරීමේ අරමුණින් මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමක් සිදු නොකළ බවයි ප්‍රකාශ කළේ.








