නීතිපති, පොලිස්පති 'පාර්ලිමේන්තුවට කැඳවන්න'

ඡායාරූප මූලාශ්‍රය, Groundviews
බරපතල වංචා, දූෂණ පරීක්ෂා කිරීමේදී නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා අකාර්යක්ෂම බව පවසන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුව හමුවට කැඳවීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
නීතිය පසිඳලීමේ කාර්යය භාරව සිටින ප්‍රධානම නිලධාරීන් දෙදෙනා අකාර්යක්ෂම වන අතරම, පැරණි පරිපාලනයේ ඇතැම් බලධාරීන්ට නීතිය ඉදිරියේ තවමත් විශේෂ වරප්‍රසාද හිමිවන හැඩකුත් පෙනී යන බවත් විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඇවන්ගාඩ් සමාගම හා සම්බන්ධ ආන්දෝලනය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් ඒ බව කියා සිටි ඔහු, රාජපක්ෂ පරිපාලනය සමයේ සිදු වූ බව පැවසෙන බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ පරීක්ෂණවලට ආණ්ඩුව තුලින්ම පවා බාධා එල්ල වෙමින් පවතින බවත් සඳහන් කළේය.
ප්‍රගීත් සහ රවිරාජ්
"දැන් රවිරාජ් මරපු පුද්ගලයන් අත්අඩංගුවට අරන් තියෙනව. හැබැයි රවිරාජ් මරන්න නියෝග දුන්න පුද්ගලයා කවුද?," ඇමතිවරයා ප්‍රශ්න කළේය.
"ජෝසප් පරරාජසිංහම් ඝාතකයන් අත්අඩංගුවට අරන් තියෙනව. ඒත් ඔහු මරන්න නියෝග දුන්න පුද්ගලයන් කවුද? කුමන්ත්‍රණය කරපු අය කවුද? එක්නැලිගොඩ මරාදාපු සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනව. ඔහු මරන්න නියෝග දුන්නේ කවුද?," නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා විමසුවේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ඡායාරූප මූලාශ්‍රය, AFP
නව ආණ්ඩුව මහින්ද රාජපක්ෂ පරිපාලනයට වඩා බොහෝ ඉදිරියෙන් සිටියත්, බොහෝ අපරාධ විසඳා ඇති නමුත් එම අපරාධවලට වගකිවයුතු 'ප්‍රධාන පුද්ගලයන්ට' එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක නොවන බවයි, ඔහු පවසන්නේ.
නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවිය යුතු යයි තමා ඉල්ලා සිටින්නේ ඒ නිසා බව ඔහු අවධාරණය කරයි.
"නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට එරෙහිව මට පුද්ගලික තරහක් නෑ."
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය
කෙසේ නමුත් එයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබෙන්නේ නොවේ දැයි විමසූ විට අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ: "එතකොට නීතිපති කාටද උත්තර දෙන්නේ? නීතිපති කියන්නේ සීයට සීයක් තමන් කැමති විදියට හිතුවක්කාර විදියට වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද?," යන්නයි.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල පවා රජයේ නිලධාරීන් ගෙන් ප්‍රශ්න කරන බව පවසන ඔහු සෑම රජයේ නිලධාරියකුම පාර්ලිමේන්තුවට වගකිව යුතු බව ඔහු අවධාරණය කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
බරපතළ වංචා දූෂණ චෝදනා ලැබ සිටින ආණ්ඩුවේ ම සාමාජිකයන්ද ඇතුළු පිරිසක් සම්බන්ධ මූලික පරීක්ෂණ නිමා වී ඇතත්, ඉන් අනතුරුව එම පරීක්ෂණ අතරමග නතර වී ඇති බවත් ඔහු පැවසීය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ලිපි ගොනු තිස් දෙකක පමණ පර්යේෂණ කටයුතු අවසන් කර ඇති බව පාර්ලිමේන්තු මැතිවරණයට පෙර තමන්ට දැනගන්නට ලැබුණු බව පවසන ඔහු, එම තොරතුරු නීතිපතිවරයා වෙත යවා ඇති නමුත් මේ වන තුරු එම ලිපි ගොනු සම්බන්ධයෙන් කිසිදු නඩු පැවරීමක් සිදු නොවීම උදාහරණ වශයෙන් පෙන්වා දෙයි.
රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරුන් පිරිසක්ද ජාතික ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු හොබවන බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එවැනි අමාත්‍යවරුන්ගේ මිතුරන්ට එල්ල වී ඇති චෝදනාවලින් ඔවුන් බේරාගැනීම පිණිස එම අමාත්‍යවරුන් සිය බලතල යොදාගනිමින් සිටින බවට චෝදනාවක්ද එල්ල කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට එරෙහිව පමණක් නොව චෝදනා ලබා සිටින එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ට එරෙහිවත් පියවර ගත යුතු බව අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Ajith P Perera
"ජනතාව අපිව බලයට පත් කළේ ඒකට."
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට අසමින් තිබෙන ඇතැම් නඩුවල ඊළඟ කැඳවුම් දින මාස හයක් හතක දක්වා කල් දමා තිබෙන බව පෙන්වා දෙන ඔහු වැඩි දුරටත් කියා සිටියේ උදාහරණයක් ලෙස වෙලේ සුදා අත්අඩංගුවට ගෙන, මහාධිකරණයේදී අධි චෝදනා පවරා මාස හයක් තුල ඔහුගේ නඩුව අවසන් කොට මරණ දණ්ඩනය පවා නියම කළත් අනෙක් නඩු සම්බන්ධයෙන් එම උනන්දුව නැති බවයි.
මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමාජය ඉදිරියේ අපකීර්තියට ලක් වන බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අවධාරණය කරන්නේ.








