'වත්කම් බැරකම් නැත්නම් ප්‍රජා අයිතියත් නෑ' - මැතිවරණ කොමිසම

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය
ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

අලුතින් පිහිටවනු ලැබූ මැතිවරණ කොමිසම මින් පෙර මැතිවරණ කටයුතුවල දී මූලිකත්වය ගෙන කටයුතු කළ මැතිවරණ කොමසාරිස් නමැති නිලයට වඩා බලවත් ආයතනයක් වනු ඇති බව හිටපු මැතිවරණ කොමසාරිස් සහ වර්තමාන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද වන මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව පළ කළේ මැතිවරණ කොමිසමේ ඉදිරි වැඩකටයුතු පිලිබඳ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

මැතිවරණ කොමිෂන් සභාව පත්කොට මාස තුන හමාරක කාලයක් යනතුරු මාධ්‍ය හමුවක් පැවැත්වීමට නොහැකි වීම පිලිබඳ තම කණගාටුව පළකරමින් අදහස් දැක්වීම ආරම්භ කළ සභාපතිවරයා කොමිසමේ සෙසු සාමාජිකයන් වන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු සම්පාදක ජනාධිපති නීතිඥ නලින් ජේ අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් හූල් ද මාධ්‍යවේදීන්ට හඳුන්වා දුන්නේය.

ව්‍යවස්ථාවේ නිර්දේශයක්

අනතුරුව ඔහු පැවසුවේ මැතිවරණ කොමිසමක් පිහිටුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්දේශිත ව තිබූ කරුණක් බවයි.

2015 දී ඡන්ද හිමි නාමලේඛනය සහතික කර ඇති නමුත් එක් එක් ඡන්ද කොට්ඨාශය සඳහා පත් කළ යුතු මන්ත්‍රී සංඛාව නිශ්චිතව ගණනය කොට ගැසට් නිවේදනයක් මගින් පළ කිරීමට අපහසු වී ඇත්තේ දැනට උතුරු නැගෙනහිර පළාත්වලින් බැහැරව අවතැන් වී සිටින ඡන්ද දායකයන් ද එම පළාත්වල ඡන්ද නාමලේඛන වලට ඇතුළත් කොට සැකසීම සඳහා සහන කාලයක් දිය යුතු නිසා බවයි පැවසුවේ.

මාධ්‍ය උපමාන

මාධ්‍ය ආයතන වලට දැනටමත් යවා ඇති 'මාධ්‍ය උපමාන' පිළිබඳව මාස තුනක කාලයක් තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පැවසූ මහින්ද දේශප්‍රිය සභාපතිවරයා පැවසුවේ මාධ්‍ය උපමාන මගින් කිසි ලෙසකින් වත් මාධ්‍ය පාලනයක් සිදු නොවන බවයි. එසේවුවත් රජයේ මාධ්‍ය සහ රුපවාහිනී මාධ්‍ය ජනතාවට අයිති බවට පිළිගැනීමක් ඇති බැවින් යම් ආකාරයක උපමාන නිකුත් කිරීමක් අවශ්‍ය බව මාධ්‍ය ආයතන සමග ඇති වූ එකඟත්වයෙන් යුතුව තීරණය කර ඇති බවයි ප්‍රකාශ කළේ.

අචාර ධර්ම

මැතිවරණ සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇති කිරීම පිළිබඳව අදහස් දැක් වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ වත්කම් සහ බැරකම් පිලිබඳ හෙළි නොකරන ඡන්ද අපේක්ෂකයන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

මෙම වත්කම් සහ බැරකම් පිලිබඳ නීතිය අපේක්ෂකයන්ට පමණක් නොව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ නිලධාරීන් සහ මාධ්‍ය ආයතන වල වගකිවයුත්තන් සඳහා ද ඒක සේ වලංගු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කාන්තා නියෝජනය

අක්‍රීය දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසම මගින් පිළිනොගැනීම සහ මැතිවරණ නිලධාරීන් අතර කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද ඔහු තම අදහස් පළකළේය.

පලාත් පාලන ඡන්ද විමසීම මෙතෙක් ප්‍රමාද වී ඇත්තේ පළාත් පාලන පනතේ ඇති තාක්ෂණික දෝෂ කිහිපයක් නිවැරදි කිරීමට ඇති බැවින් යැයි පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බලාපොරොත්තුව පළ කළේ කොයි මොහොතේ හෝ පළාත් පාලන චන්ද විමසීම සිදු වනු ඇති බවටයි.