මාව හිරේ දාන්න - මහින්ද

ඡායාරූප මූලාශ්‍රය, Getty
සීඑස්එන් නාලිකාවේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හඳුන්වයි.
හිටපු ජනපතිවරයා ඒ බව කියා සිටියේ සිය පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සෙසු සැකකරුවන්ගේ සුව දුක් විමසීම සඳහා වැලිකඩ රක්ෂිත බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේදීයි.
'ළමයින්ගෙන් පළිගැනීම තමයි මේකේ වරද.මේවට මාව අල්ලලා කූඩු කළා නම් බොහොම හොදයි' කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.
යෝෂිත රාජපක්ෂ, සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානී නිශාන්ත රණතුංග, හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක සහ රබිනාත් ප්‍රනාන්දු යන සැකකරුවන් දින දාහතරක් රිමාන්ඩ් භාරයේ තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය සෙනසුරාදා නියෝග කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty
පසුගිය පාලන සමයේ ආරම්භ කරනු ලැබූ සිඑස්එන් රූපවාහිනි නාලිකාවේ කටයුතු සඳහා පොදු දේපළ යොදාගැනීම ඇතුළු මුදල් විශුද්ධි කරණ පනත යටතේ සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසුව ඉහත කී සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ.
රිමාන්ඩ් භාරයේ පසු වන සැකකරුවන් අතර සිටින එක් අයකු වෘත්තියෙන් වෛද්‍යවරයකු බවත් ඔහු සිඑස්එන් රූපවාහිනි නාලිකාවේ කොටස් හිමිකරුවකු බවත් හිටපු ජනපතිවරයා පැවසීය.
ඉහත කී මූල්‍ය වංචාවට යෝෂිත රාජපක්ෂ සම්බන්ධ බවට සාක්ෂි ලබා දෙන ලෙස අදාළ වෛද්‍යවරයාට පොලිසිය පවසා ඇති බවත් හිටපු ජනපතිවරයා සඳහන් කළේය.
''යෝෂිතගේ නම කියන්න, එතකොට අපි තමුන්නාන්සේ එළියට දාන්නම්. නැතිනම් හිරේ යවන්නම්''
ඉහත කී වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීම ඔහුගේ අධ්‍යාපනික කටයුතු සඳහාද බලපා ඇති බවයි හිටපු ජනපතිවරයා කියා සිටියේ.
''නව වෙනිදා සහ දහ වෙනිදා ඔහු, ඔහුගේ පශ්චාත් උපාධියට සුදානම් වෙනවා. දැන් බලන්න ඒ ළමයට සිද්ධ වෙන අසහනය. මගේ දරුවා පැත්තක තියන්න. බලන්න අර දරුවට වෙන අසාධාරණය''
අත්අඩංගුවේ පසු වන සැකකරුවන් අතර සිටින තවත් අයකු ආබාධිත තත්වයේ පසු වන බැවින් ඔහු පමණක් බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇති බවති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.








