අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කරමු - ජනපති

ඡායාරූප මූලාශ්‍රය, Sudath Silva President Media Unit
- Author, අසාම් අමීන්
- Role, බීබීසී වාර්තාකරු, කොළඹ
ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් රට ගොඩනැගීම සියළු දෙනාගේ න්‍යාය පත්‍රය විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ සිය පදවි ප්‍රාප්තියෙන් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති විශේෂ සමරු උත්සවය අමතමින්.
තමන්ට තිබෙන්නේ තමා ගැන සිතන න්‍යාය පත්‍රයක් නොව රට ගැන සිතන දේශපාලන න්‍යාය පත්‍රයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය.
"මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty
උතුරේත් දකුණේත් අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සියළු ජන කොටස්වලට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟිය යුතු බවත් සඳහන් කළේය.
"සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදනවා කියලා; විදේශීය උපදෙස් අනුව ආරක්ෂාව නැති කරලා ජාතික ආරක්ෂාව දුර්වල කරන්න යනවා කියලා. මම ඒ සියළු දෙනාට කියනවා නැහැ අපි උත්සාහකරන්නේ ඔබ කියන දේ කරන්නට නොව ඔබ නොදකින, ඔබට නොතේරෙන දෙය ඉටු කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, President Media Twitter
පසුගිය වර්ෂය මැතිවරණ වසරක් වුවත් කාටත් සතුටු විය හැකි යුග මෙහෙවරක් සඳහා අවශ්‍ය මුල් පියවර එම වසරේ තැබීමට හැකිවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
යුද්ධය ජය ගෙන ලබාගත් සාමය ස්ථීර සාමයක් කරා ගෙන යාම සඳහා යුද්ධයට තුඩු දුන් කාරණා සෙවිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනා ඉපදීමට හේතුව පශ්චාත් යුද සමයේ අප කළ යුතු දෑ නොකිරීම යැයි තමන් විශ්වාස කරන බවත් පැවසීය.
උත්සව සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනාවක් සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිවේදනය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, President Office Twitter
"හෙට ගේන මේ යෝජනාවට එකඟ වෙන අය වගේම විරුද්ධ වෙන අය ඉන්නවා. හෙට අපිට තීරණය කරන්න තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන මඩවලේ අපි හිරවෙලා ඉන්නවද නැත්නම් ඉදිරියට යනවද කියලයි," අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් වූ එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කිරීමත් විශේෂත්වයක්.
විශේෂ සැමරුම් උත්සවයට පැමිණ වේදිකාවට ගොඩවූ සිවරාජා ජෙනිවන්ට ජනාධිපතිවරයා අතට අතදී සුභපැතුම් එක් කළේය.








