සීමා නීර්ණය: 'අපේක්ෂාව ජනමතය නියෝජනය වීම'

ඡායාරූප මූලාශ්‍රය, President Media
පළාත් පාලන ආයතනවල ජන්ද කොට්ටාශ සීමා නීර්ණය කිරීමේදී අපේක්ෂා කළ යුත්තේ දේශපාලන පක්ෂයක ජයග්‍රහණය නොව, පොදු ජනමතය මැතිවරණය තුළ නියෝජනය වීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව අමතා කතාකරමින්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ දේශපාලන පක්ෂ 64 ක නියෝජිතයෝද සමුළුවට සහභාගි වූහ.
'අලුත් අවුරුද්දට පෙර'
පළාත් පාලන සීමා නීර්ණය සඳහා මින් පෙර පත්කරන ලද කමිටුව සිය වගකීම නිසි ලෙස ඉටුනොකළ බවට චෝදනා නැගුනු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
"කලින් කමිටුවට එල්ලවුණු චෝදනා මේ කමිටුවට එල්ල නොවන ආකාරයට කටයුතු කළ යුතුයි," ඔහු පැවසීය.
එමෙන්ම එහි අරමුණ විය යුත්තේ පොදු ජනමතය නිසි පරිදි නියෝජනය වීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ.
"කාලය පිළිබඳව අපි කතාකරනවා. නමුත් කාලය අඩුවෙන් අරගෙන වැඩේ හරියට කරේ නැත්නම් මේක සම්මත වුනු දවසේ ඉඳල අපිට බැනුම් අහන්න වෙන්නේ."
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන ජන්දය පැවැත්වීම රජයේ බලාපොරොත්තුව බවයි සමුළුව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.
එබැවින් පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන්නේ කුමන ක්‍රමයකට දැයි දේශපාලන පක්ෂ අතර ඉක්මන් එකඟත්වයක් ඇතිකරගත යුතු බවත් අගමැතිවරයා පැවසීය.
පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට විසිපහක් වීම අනිවාර්ය බව ප්‍රකාශ කළ අගමැතිවරයා ජාතික ලැයිස්තු ක්‍රමය මෙන් අදාළ කාන්තාවන් පිරිස තරඟ නොකරම පළාත් පාලන ආයතනවලට පත්කළ හැකි බව පෙන්වා දුන්නේය.








