පළාත් පාලන ආයතන: ජනපති තීරණයට 'ශ්‍රීලනිපය එකඟ නෑ'

"අපි තවමත් මේවා විසුරුවන්න එපා කියලා ඉල්ලීම් කරනවා. අපේ අදහස නම් මේක දීර්ඝ කරන්න ඕනේ කියලා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි තවමත් මේවා විසුරුවන්න එපා කියලා ඉල්ලීම් කරනවා. අපේ අදහස නම් මේක දීර්ඝ කරන්න ඕනේ කියලා"

නියමිත කාලය ඉකුත් වී තිබෙන ප්‍රාදේශීය සභා, නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ නොකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.

මෙම පළාත් පාලන ආයතනවල කාලය දික් කළ යුතු බවට බදාදා සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් යෝජනා කිරීමට නියමිත බව සඳහන් කළ විපක්ෂනායකවරයා, ඉන් අනතුරුව ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නියමිත බවද කියා සිටියේය.

අඟහරුවාදා පයාගලදී පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණ පවත්වන තුරු එම ආයතනවලට විශේෂ කොමසාරිස්වරුන් පත් කරන බවයි.

භාණ්ඩාගාර බැඳුම්කර

"මේක රටේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදු වෙන සාමාන්‍ය සිද්ධියක්. නමුත් සමහර වෙලාවට හෙට අනිද්දා තමුන්නාන්සේලා මාධ්‍ය තුළ දකීවි මේ පිළිබඳව නොයෙක් විදියේ විග්‍රහයන්," ජනාධිපතිවරයා සඳහන් කළේය.

මහ බැංකු අධිපතිට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන බව විපක්ෂනායකවරයා තහවුරු කළේය

ඡායාරූප මූලාශ්‍රය, cbsl.gov.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, මහ බැංකු අධිපතිට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන බව විපක්ෂනායකවරයා තහවුරු කළේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ මතය පක්ෂයේ මතය නොවේ දැයි බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් විපක්ෂනායකවරයා කියා සිටියේ, රජයක් ලෙස කටයුතු කිරීමේදී ජනාධිපතිවරයා අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ කැමැත්තද විමසිය යුතු බවයි.

"අපි තවමත් මේවා විසුරුවන්න එපා කියලා ඉල්ලීම් කරනවා. අපේ අදහස නම් මේක දීර්ඝ කරන්න ඕනේ කියලා. ඕනෑම පක්ෂයක මත ගැටුම් තියෙන්න පුළුවන්," විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

මේ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී බරපතල වංචාවක් සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉදිරි සතියේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව විපක්ෂනායකවරයා තහවුරු කළේය.

එම චෝදනාව පිළිබඳව නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දරන්නේ කුමන මතයක් දැයි විමසූ විට විපක්ෂනායකවරයා පැවසුවේ එය ජනාධිපතිවරයාගෙන් අසා දැන ගත යුතු බවයි.

"යෝජනාව සම්මත වුනාට පස්සේ දැනගන්න පුළුවන් ජනාධිපතිතුමාගේ මතය කුමක්ද කියලා. මොකද එතුමාත් දැනගන්න ඕනේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මතය මොකක්ද කියලා," ඔහු වැඩිදුරටත් පැවසීය.