මිනිසා නිසා දිවි පුදන වන සතුන්

- Author, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
- Role, හම්බන්තොට
රථවාහන වේග සීමා නීති දැඩි කර ඇති නමුත් ජාතික උද්‍යාන තුළ හා ඒ වටා වෙන්කරන ලද කලාපයන්හි වාහනවල ගැටී මිය ගිය වන සතුන් තවමත් නිතර දක්නට ලැබේ.
ගෙවී ගිය දෙසතිය තුළ යාල පේරක කලාපයේදී හා පිවිසුම් මාර්ගයේදී වන සතුන් කිහිප දෙනෙකුම වාහන අනතුරු නිසා මිය ගොස් තිබුණි.
ඒ අතර මුවන්, ඌරන් සහ හාවුන් වැනි විවිධ වන සතුන් විය. ඇතැම් අනතුරු අදාළ නිලධාරීන්ට වාර්තා නොවන අතර වාර්තා වූ සිද්ධීන් අනුව දෙසතියක් ඇතුළත මිය ගොස් ඇති මුවන්ගේ ප්‍රමාණය පහකි.

මෙම වන සතුන් බේරා ගැනීමට නම් ජාතික උද්‍යාන තුළ පමණක් නොව පිවිසුම් මාර්ග තුළ ද වේග සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය කඩිනම් පියවර ගත යුතු බවයි බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ.
කැළි කසල

මීට අමතරව වනෝද්‍යාන තුළ කැළි කසල දැමීම නිසා ඒවා ආහාරයට ගැනීමෙන් වන සතුන්ගේ ජීවිත අවදානමකට ලක් වී තිබේ. බොහෝ විට නීති පනවා දැන්වීම් පුවරු දමා තිබුනත් ඒවා පිලි පදින්නේ සුළු පිරිසක් පමණක් වීම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ මුලින්ම වනජීවී රක්ෂිත කලාප වෙන් කර ඇත්තේ වසර 1900 කාලයේදී යි. මුලින්ම ඇති කළ රක්ෂිත කලාප දෙක වන්නේ යාල හා විල්පත්තුව යි.
ආරම්භයේ දී යාල වනෝද්‍යානය, එවක පැවැති පාලනය මගින් වෙන් කර තිබුණේ විනෝදය පිණිස දඩයම් කිරීමට හැකි කලාපයක් ලෙසයි. නමුත් එය දිසාපතිවරයාගේ අවසරයක් සහිතව කළ යුතු විය.
එංගල් බ්රේක්
යාල ප්‍රථම භාරකරු වූ එංගල් බ්රේක් එය රැක ගැනීමට සිය අණසක දැඩිව ක්‍රියාත්මක කර ඇති බව ලේඛණ ගත වී ඇත.

අවසරයකින් තොරව දඩයමේ පැමිණි යුරෝපීය ජාතිකයන් පවා ගස් බැඳ, සිරුරට දිමි ගොටු දමා පහර දීමට එංගල් බ්රේක් පසුබට නොවූ බව ලෙනාඩ් වුල්ෆ් ගේ දින සටහන් තුළ දක්වා තිබේ.
වෙඩි හුවමාරුව
සියවසක ඇවෑමෙන් ආරක්ෂක විධි විධාන තර වී තිබියදීත් අදටත් මෙම රක්ෂිත කලාප තුළ වන සතුන් දඩයම සිදු වන බව නොරහසකි.
පසුගිය දා වාර්තා වූ පරිදි දඩයක්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර සිදුවූ වෙඩි හුවමාරුව තුලින් එය මොනවට පැහැදිලි වෙයි.

වන සතුන් දඩයමේ යෙදෙන්නන් අල්ලා ගැනීම සඳහා යාල වනෝද්‍යානය තුළ මුර සංචාර වැඩි කර ඇති බවයි එහි භාරකරු අසංක ගුණවර්ධන පවසන්නේ.
වන සතුන්ගේ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් නිලධාරිගේ කැප වීම මෙන්ම මහජනතාවගේ කාරුණික උනන්දුව ද අවශ්‍ය බව පශු වෛද්‍ය විජිත පෙරේරා පැවසීය.








