විජිත ගුණරත්න ලන්ඩන් 'යුද පිටියේ සවාරියක'

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණුකර නිර්මාණය කළ 'යුද පිටියේ සවාරිය' නාට්‍යය පුහුණු කිරීම පිණිස ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ විජිත ගුණරත්න ලන්ඩනයේ සංචාරයක යෙදී සිටියි.
"කිසිම දවසක වේදිකාව හුරු පුරුදු නැති සම්පූර්ණයෙන්ම ආධුනික කණ්ඩායමක් නාට්‍ය කණ්ඩායමක් හැටියට සකස කිරීමේ වගකීම මම භාරගත්ත," ලන්ඩන් සංචාරය අතරවාරයේ බීබීසී මූලස්ථානයට පැමිණි විජිත ගුණරත්න පැවසීය.
ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් යොදාගෙන 'යුද පිටියේ සවාරිය' බ්‍රිතාන්‍යයේ ප්‍රතිනිර්මාණය කිරීමටයි ඔහු ලන්ඩනයට පැමිණ සිටින්නේ. අගෝරා සංස්කෘතික කවය ඒ සඳහා ඔහුට සහාය වෙයි.
'අභියෝගයක්'
විජිත ගුණරත්න පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ නාට්‍යයක් ඉතාලියට ගෙන්වා ප්‍රදර්ශනය කිරීමයි මෙතෙක් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සම්ප්‍රදායය වී තිබුණේ.
"නමුත් මම යෝජනාවක් ගෙනාව, ඔය අයගේ තියන නිර්මාණ හා ඒ රංග දායකත්වය භාවිතාවට ගනිමින් ඔය අයටම බැරිද මේ වේදිකාව සකස් කරගන්න," ඔහු කියා සිටියේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට මුල පුරමින්.

විජිතගේ මේ අත්හදා බැලීම, දාරියෝ ෆෝ කම්හල් වල කම්කරුවන් උපයෝගී කරගෙන කළ නාට්‍ය භාවිතයේ නූතන අත්හදා බැලීමක් ලෙසිනුයි අගෝරා සංස්කෘතික කවය විග්‍රහ කරන්නේ.
ඉතාලියේදී එය තමන්ට සැබෑ අභියෝගයක් වූ බව ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.
"ඇත්තටම ලංකාවේ පවා අපිට වෘත්තීය නළු නලියන් නැහැ. වෘත්තීය නළු නිලියන් දකින්න නම් අපි යුරෝපයට එන්න ඕන. ලංකාවේ තියෙන්නේ පාඩම් ඒ අයගේ ජීවිතයෙන්ම ලබා ගන්නවා හැරෙන්න ඒ අයට නාට්‍යකරණය අධ්‍යයනයක් නෑ."
ඒ තත්වය තුල ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොදා ගෙන නිර්මාණයක යෙදීම එතරම්ම දුෂ්කර නොවූ බවත් විජිත ගුණරත්න පැවසීය.
'යුද පිටියේ සවාරියේ' ලන්ඩන් පිටපත ලබන ඔක්තෝබර් මාසයේ ප්‍රදර්ශනය කිරීම ඔහුගේ අභිලාෂයයි.








