මහින්දගෙන් පැයක් ප්‍රශ්න කෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, bbc
බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අද සවස (23) පැයක පමණ කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශනයක් සටහන් කරගත් බව එම කොමිසම පවසයි.
බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කොමිසමේ ලේකම් ලැස්ලි ද සිල්වා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජයට අයත් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුළු මුදල නොගෙවීම නිසා ස්වාධීන රූපවාහිනියට සිදුවූ පාඩුවට අදාළ පරීක්ෂණ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කෙරුණ බවයි.
හිටපු ජනාධිපතිවරයා ITN ආයතනය මගින් සිය දැන්වීම් ප්‍රචාරය කොට ගෙවීම් පැහැර හැරීම නිසා එම ආයතනයට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි දෙකක් පමණ වෙතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇති බවත් ජනාධිපති කොමිසමේ ලේකම් ලැස්ලි ද සිල්වා පවසයි.
දෙපතුල ලඟට
හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබීම සිදු කර තිබෙන්නේ ඔහුගේ නිවසේදී.
එවැනි පියවරක් ගැනීමට හේතුව විමසීමේ දී ලේකම්වරයා කියා සිටියේ පසුගිය දාහත් වෙනි දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කැඳවමින් කොමිසම ලිපියක් යැවූ අතර ඊට මෙතෙක් පිළිතුරක් නොලද හෙයින් ඔහුගේ නිවසට හෝ ගොස් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගත් බවයි.

ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කර එය නිමකිරීම සඳහා අදාළ පුද්ගලයන්ගේ ‘දෙපා ලඟට හෝ යාමට’ සිදු වී ඇති බවයි බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම්වරයා පවසන්නේ.
ITN ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති රොස්මන්ඩ් සේනාරත්න ඉවත් කොට එම පදවියට අනුර සිරිවර්ධන පත් කරනු ලැබීම පිළිබඳවත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබුනේදැයි බීබීසිය විමසූ විට ලේකම් ලැස්ලි ද සිල්වා කියා සිටියේ එම කාරණය ගැනත් පැහැදිළි කර ගැනීමක් අවශ්‍ය කරන බවයි.
රටේ යහපත වෙනුවෙන්
‘හාල්මැස්සන් ඇල්ලුවත් තෝරුන් මෝරුන් අල්ලන්නේ නැති බවට අපට චෝදනා එල්ල වෙනවා. ඒ අනුව බැලුවම අපි මේ කරන්නේ ඉතාම බැරෑරුම් දෙයක්. අපි හිටපු ජනාධිපතිවරයාට ලිපියක් යවල අදට සතියක් වුනා.පිළිතුරක් නැහැ.’

ඡායාරූප මූලාශ්‍රය, bbc
එවැනි තත්වයක් යටතේ සිය උවමනාව 'රටේ යහපත වෙනුවෙන් මෙවැනි විභාග ඉක්මනින් සිදු කර ඒවා අවසානයකට ගෙන ඒම බව ඔහු යලිත් අවධාරණය කළේය.
මේ ආකාරයට ලබා ගන්නා තොරතුරු මහජන සාක්ෂි විභාගයේ දී උපයෝගී කර ගන්නා බවත් කොමිසමේ ලේකම් ලැස්ලි ද සිල්වා පවසයි.








