සම්බන්ධන් සහ හුඹස් බිය

    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, බීබීසී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෙමළ ජාතිකයෙකු විපක්ෂ නායක ධුරයට පත් වූයේ දෙවැනි වතාවටයි.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් 1977 මහ මැතිවරණයෙන් විපක්ෂ නායක ධුරයට පත් වූ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදියම් සම්බන්ධන් එම තනතුරට පත් වූයේ තුන් දශකයක් අවෑමෙන්.

අටවැනි පාර්ලිමේන්තුව ගත් තීරණය විවේචනය කරමින් විවිධ මත පළ වෙමින් තිබියදී ඇතැම් විද්වතුන් පවසන්නේ මෙය අනාගතය වෙනුවෙන් ගන්නා ලද කාලෝචිත පියවරක් බවයි.

හුඹස් බිය

ඡායාරූප මූලාශ්‍රය, AFP

රටේ පවතින ජාතික ප්‍රශ්නය වෙනුවෙන් මහ ජාතිය සහ සුළු ජාතීන් අතර විශ්වාසය ගොඩ නැගීම සඳහා අභිනව විපක්ෂ නායක ධුරය පාලමක් කර ගත හැකි බවයි මහාචාර්ය සරත් විජේසූරිය බීබීසීයට කියා සිටියේ.

අමිර්තලිංගම් විපක්ෂ නායක ධුරයට පත් වන විට පැවති දේශපාලන සන්දර්භය සහ අද පවතින දේශපාලන සන්දර්භය හාත්පසින් ම වෙනස් බව පවසන ඔහු කියා සිටින්නේ මේ පිළිබඳව හුඹස් බියක් ඇති කර ගත යුතු නැති බවයි.

ජාතික සංහිඳියාව කරා යන ගමනේ දී සුළු ජාතීන් බිය ගැන්වීමට වඩා ඔවුන් ගේ හදවත් දිනා ගැනීම වැදගත් බවයි මහාචාර්ය සරත් විජේසූරිය ප්‍රකාශ කළේ.