ඇමතිවරුන් තිහේ කැබිනට් සිහිනය

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wilckramasinghe

    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, බීබීසී

අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඇමතිවරුන් කී දෙනෙකු පත් වේද යන්න පිළිබඳව මාධ්‍ය හරහා විවිධ මත පළ වෙමින් තිබේ.

ඇමති මණ්ඩලය තිහකට සීමා කිරීමට ප්‍රතිඥා දුන් එක්සත් ජාතික පක්ෂයට බහුතරය නොලැබී යාම නිසා එය ඉටු කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි බොහෝ විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ.

හවුල් ආණ්ඩුවකට පවුල් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝල බාලයන් සතුටු කිරීමට ජනාධිපතිවරයාට සිදු වී ඇති අතර දශක දෙකක් පමණ විරුද්ධ පක්ෂයේ සිටි එජාප නියෝජිතයන් සන්තර්පණය කිරීම අගමැතිවරයා හමුවේ ඇති අභියෝගයකි.

ජවිපෙන් ඉල්ලීමක්

හවුල් ආණ්ඩුවක් යටතේ වුවද තිස් දෙනෙකුට වඩා වැඩි අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

ඇමති මණ්ඩලයට තිහකට වැඩි පිරිසක් පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොදීමට කටයුතු කරන මෙන් ජවිපෙ නායකයා නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

කෙසේ නමුත් ජාතික ආණ්ඩුවකට යන බව මැතිවරණයට පෙර එජාපය ප්‍රකාශ කර තිබුනත් ශ්‍රීලනිපය එවැන්නක් කියා නොතිබුණු බවයි අනුර කුමාර දිසානායක කියා සිටියේ.

මුදල් අමාත්‍යංශය

ඡායාරූප මූලාශ්‍රය, Amal Jayasinghe

මේ අතරතුර මුදල් අමාත්‍යංශය රවී කරුණානායකගෙන් ඉවත් කර ගැනීමට ජනාධිපතිවරයා සහ එජාපයේම ඇතැම් පිරිස් ප්‍රයත්නයක යෙදීම නිසා අග්‍රාමාත්‍යවරයා තවත් ගැටලුවකට මදි වී ඇති බවට විශ්වාස දායක ආරංචි මාර්ග ලැබී ඇතැයි ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ පවසයි.

මෙවැනි වාතාවරණයක් යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම තවත් කල් යාහැකි බවට ඔහු අනාවැකි පළ කළේය.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය පියවර දෙකකින් පත් කිරීම සිදු වීමට බොහෝ ඉඩ කඩ ඇති බවද ඔහු පැවසීය.