සාම්පූර් අවතැන්වූවන් යළි ගම්බිම් වලට

සාම්පුර් කරා ගිය දේශපාලන නායකයන්
ඡායාරූප ශීර්ෂ වැකිය, සාම්පුර් කරා ගිය දේශපාලන නායකයන්
    • Author, ආර්.ජී.ධර්මදාස
    • Role, ත්‍රිකුණාමලය වාර්තාකරු

සාම්පූර් ප්‍රදේශයේ අවතැන් වී සිටි පවුල් තුන්සීයක් පමණ යළි පදිංචි කරවනු ලැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහභාගී වූ එම අවස්ථාවේ ජනතාව අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ යුද සමයේ ආරක්ෂක අංශ විසින් පවරා ගනු ලැබුන ඉඩම්වල අයිතිය ඒවායේ උරුමකරුවන්ට පැවරීමට පියවර ගන්නා බවයි.

අද (22) සාම්පූර් යුද අනාථ පවුල් තුන්සීයකට පමණ ජනාධිපතිවරයා අතින් ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරුණ අතර එවැනි තවත් පවුල් පන්සීයක් පමණ මුත්තූර් ප්‍රදේශයේ ජීවත් වෙති.

ජනාධිපතිවරයා කියා සිටියේ මෙම වර්ෂය අවසන් වීමට පෙර එම සියලුම පවුල් ඔවුන්ගේ මුල් ඉඩම්වල පදිංචි කරන බවයි.

ජාත්‍යන්තර ආධාර

ජාති ආගම් හෝ වෙනත් භේදයෙන් තොරව සියලුම ජන කණ්ඩායම් වලට සියලු සමාජ ඓතිවාසිකම් උරුම විය යුතු යයි කියා සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම සියලුම ජනතාවන්ට මේ රටේ අයිතියක් ඇති බවයි පෙන්වා දුන්නේ.

ජාතීන් අතර සමගිය සහතික කිරීම තම පරමාර්ථය වන බව කියා සිටි ජනාධිපතිවරයා ඒ සඳහා වෙනම අමාත්‍යාංශයක් ආරම්භ කරන බවත් කියා සිටියේය.

යලි පදිංචි කරන පවුල් වලට ආධාර සඳහා ප්‍රමාණවත් ජාත්‍යන්තර ආධාර ලැබී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනපතිට සවන් දෙන සාම්පූර් වැසියන්

ඡායාරූප මූලාශ්‍රය, bb

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනපතිට සවන් දෙන සාම්පූර් වැසියන්

‘යුරෝපා සංගමය නිවාස දහසක් හැදීමට ආධාර සපයා තිබෙනවා. ඒ වගේම, යුනිසෙෆ් ආයාතනය නිවාස එකසිය හතළිහකට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටිනවා’ ජනාධිපතිවරයා සඳහන් කරයි.

පෞද්ගලික අවධානය

එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකරණ අංශය මගින් ඩොලර් තුන් දහස් තුන්සීයක ආධාර සැපයෙන බව පවසන ජනාධිපති සිරිසේන ඉන්දියාව නිවාස ආධාර සපයන අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් දශ ලක්ෂයක ආධාර සැපයෙන බවයි කියා සිටියේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ උතුරු නැගෙනහිර නැවත පදිංචි කරවීම ගැන තමා පෞද්ගලිකවම සොයා බලන බවයි.