පාර්ලිමේන්තු යන එකම පවුලේ සාමාජිකයෝ

ඡායාරූප මූලාශ්‍රය, Namal Rajapaksa
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සංදේශය
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වූ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දෙටු පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙවර පාර්ලිමේන්තුවේ සිටින ප්‍රකට චරිත දෙකකි.
ඒ අතර එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කළ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්නද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටිති.

ඒ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.
පිය පුතුන් මෙන්ම සහෝදරයන් පිරිසක්ද අගෝස්තු 17 වැනි දින පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ බස්නාහිර පළාතේ මහ ඇමති ප්‍රසන්න රණතුංග දෙදෙනාම මෙවර තේරී පත් වී සිටින නමුත් ඔවුන් දෙදෙනා තරඟ කළේ දේශපාලන ප්‍රතිවාදීන් වශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම තරඟ කළ ඔවුන් දෙදෙනාගේ බාල සොහොයුරු රුවන් රණතුංග හිටපු මන්ත්‍රීවරයා පරාජයට පත්විය.
හම්බන්තොට නියෝජනය කරන චමල් රාජපක්ෂ හිටපු කථානායකවරයා, කුරුණෑගල මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ සොහොයුරාය.

ඡායාරූප මූලාශ්‍රය, Rahul Samantha Hettiarachchi
ඔවුන්ගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂ හිටපු අමාත්‍යවරිය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් විය.
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු අමාත්‍ය නවීන් දිසානායක සහ නුවර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ මයන්ත දිසානායක මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් සොහොයුරන් දෙදෙනෙකි. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණ කරු ජයසූරිය මන්ත්‍රීවරයා, නවීන් දිසානායක මන්ත්‍රීවරයාගේ මාමණ්ඩියයි.
රංජිත් අලුවිහාරේ සහ වසන්ත අලුවිහාරේ දෙසොහොයුරෝ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතලේ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී සිටිති.

එක්සත් ජාතික පක්ෂය විසින් අනෝමා ගමගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙසින් පත් කරනු ලැබීමත් සමඟ දයා ගමගේ සහ අනෝමා ගමගේ මෙවර පාර්ලිමේන්තුවේ සිටින එකම අඹු, සැමි යුවලයි.
නුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ ආනන්ද අලුත්ගමගේ ඥාති සොහොයුරන්, රණතුංග සොහොයුරන් වැනි දේශපාලන පිටියේ ප්‍රතිවාදීන්.








