බැඳුම්කර පරීක්ෂණයට අලුත් කමිටුවක් - රනිල්

    • Author, අසාම් අමීන්
    • Role, බීබීසී වාර්තාකරු, කොළඹ

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාව පිළිබඳව විමර්ශනය කිරීම පිණිස පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මහ බැංකු අධිපතිවරයා වරදක් සිදු කොට නොමැති බව පරීක්ෂණ කමිටුවක් විසින් නිගමනය කරන ලද බව පවසන අගමැතිවරයා, අධිපතිවරයාගේ බෑනා ගේ ප්‍රධානත්වයෙන් යුත් 'පර්පචුවල්' සමාගම ලංකා බැංකුවෙන් මුදල් ලබාගත්තේ කෙලෙසද යන්න විමසා බැලිය යුතු බව කමිටුව නිර්දේශ කර තිබෙන බවත් බීබීසී සංදේශයට පැවසීය.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ, කොළඹ අරලියගහ මන්දිරයේදී පැය භාගයකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී.

"මට විවාදයකට ආරාධනා ලැබිල නෑ"
ඡායාරූප ශීර්ෂ වැකිය, "මට විවාදයකට ආරාධනා ලැබිල නෑ"

එමෙන්ම අධිපතිවරයාට එරෙහි චෝදනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් 'පර්පචුවල්' සමාගමේ අධ්‍යක්ෂවරියක් මහ බැංකුවේ හිටපු අධිපති නිවාඩ් කබ්රාල් ගේ සොහොයුරියක් බව අනාවරණය වී තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

"ඉතින් මේවා ඒ අය මාර්ගයෙන් ආවද නැද්ද කියල අපි දන්නේ නෑ. ඒවා තමයි හොයන්න තියෙන්නේ."

'රාජපක්ෂ නීතිය'

මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කළ බවත් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආකාරයට තමන්ද කටයුතු කළේ නම් චෝදනා ලත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 'හිරේ දාන්නත්' හැකියාව තිබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

"අපි රාජපක්ෂ ක්‍රමය වාගේ මිනිස්සුන්ට දඬුවම් කරන්නේ නෑ. නැත්නම් මේ චෝදනා උඩ හිරේ දාන්න තිබුනා. අපි කිවුවේ නීතිය අනුව," ඔහු පැවසීය.

"ඕක විභාග කරන්න අපිට යාන්ත්‍රණයක් වුවමනායි. මොකද මේ ව්‍යාපාරිකයන් දූෂණ ව්‍යාපාරික මොලේ පාවිච්චි කරලා, කරලා තියෙන්නේ."

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා නොවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ විවාදයකට තමන් සූදානම් නොමැති බවද අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනටමත් පවසා ඇතැයි සඳහන් කළ අගමැතිවරයා, ඔහු සිය සන්ධානයේ අගමැති අපේක්ෂකයා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් එය භාරගැනීමට තමන් සූදානම් බවද පැවසීය.

එවැනි විවාදයක් සඳහා තමන්ට කිසිදු ආරාධනයක් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

බීබීසී ය යොමු කළ ප්‍රශ්නවලට මෙන්ම ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් <link type="page"><caption> බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය</caption><url href="https://www.facebook.com/BBCSinhala" platform="highweb"/></link> ඔස්සේ යොමු කර තිබුණ ප්‍රශ්නවලටද අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

මැතිවරණය

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය කඩා වැටී ඇති හෙයින් තමන්ට පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගත හැකි බවද අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ranilwickramasinha

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, "එක්සත්, ඒකීය අතරේ වෙනසක් නෑ. ඉංග්‍රීසියෙන් united, unity අතරේ වෙනසක් තියෙනව. සිංහලෙන් ඒක නෑ"

"එකම විකල්පයක් තියෙන්නේ, එකම වැඩපිළිවෙලක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා," ඔහු පැවසීය.

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඇතුලත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 'අනාගතයට සහතිකයක්' වැඩපිළිවෙල පිළිබඳව විමසූ අවස්ථාවේ අගමැතිවරයා කියා සතියේ වසර විස්සක් රට පාලනය කළ සන්ධානය දැන් යළිත් පොරොන්දු දීම අර්ථ ශූන්‍ය කරුණක් බවයි.

"පැරදුනයින් පස්සේ ආපහු ඒ පොරොන්දු දීල වැඩක් නෑනේ," ඔහු පැවසීය.

ජාතික ප්‍රශ්නය

ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් එක්සත් ශ්‍රී ලංකාවක් තුල බලය බෙදීම උදෙසා කලක් මුළුල්ලේ පෙනී සිටි එජාපය මෙවර 'එකීය ශ්‍රී ලංකාවක්' බවට වෙනස් වූයේ ජාතිකවාදය කරා යොමුවීමෙන් තොරව මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි නිසා දැයි මතු කළ ප්‍රශනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ: "එක්සත් ශ්‍රී ලංකාවක් කියන්නේ ඒකීය ශ්‍රී ලංකාවක්," බවයි.

"අපි රාජපක්ෂ ක්‍රමය වාගේ මිනිස්සුන්ට දඬුවම් කරන්නේ නෑ. නැත්නම් මේ චෝදනා උඩ හිරේ දාන්න තිබුනා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි රාජපක්ෂ ක්‍රමය වාගේ මිනිස්සුන්ට දඬුවම් කරන්නේ නෑ. නැත්නම් මේ චෝදනා උඩ හිරේ දාන්න තිබුනා"

"අපි කිසිවිටෙකත් ඒකෙන් ඈත්වෙලා නෑ. එක්සත්, ඒකීය අතරේ වෙනසක් නෑ. ඉංග්‍රීසියෙන් united, unity අතරේ වෙනසක් තියෙනව. සිංහලෙන් ඒක නෑ. එක්සත් කරනවා කියන්නේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව සියල්ලම එකතු කරන ක්‍රියාවලිය. දේශපාලන ක්‍රියාවලිය, සංස්කෘතික ක්‍රියාවලිය. ඒකීය රාජ්‍යය කියන්නේ ඒක ඇතිකරන ක්‍රියාවලිය."

එජාපය ඒකීය රාජ්‍යයක් පිළිබඳව අවධානය පළකරද්දී, දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටීම තුල ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම යළිත් වරක් කල් දැමෙනු ඇතිදැයි විමසූ විට අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබාගැනීමට එය කිසිදු බාධාවක් නොවන බවයි.