'පත්තරේ හෙඩිම තීරණය වුනේ අරලිය ගහ මැදුරෙන්'
- Author, තිසර අරවින්ද රතුවිතාන
- Role, බීබීසී
මැතිවරණ සමයේ දී පෞද්ගලික මාධ්‍ය පාලනය කරනු වෙනුවට ඔවුන්ට මාධ්‍ය නිදහස ලබා දීමට තමා කටයුතු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.
මැතිවරණ කාල සීමාව තුළ දී අපක්ෂපාතී ව කටයුතු කිරීමේ වගකීම පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් ම දැරිය යුතු බවයි ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
‘මේ රටේ මාධ්‍ය නිදහස පල්ලම් බැහැපු අවස්ථාවක අපි රට භාර ගත්තේ. මාධ්‍යවේදීන් ඝාතනය වුනා, අත පය කැඩුවා, සමහරුන්ගේ රැවුල කොන්ඩෙ කැපුවා, රට හැර යන්න සිද්ධ වුනා, සමහර මාධ්‍ය ආයතන ගිනි බත් කළා. ඒ කාලේ පත්තරේ හෙඩිම තීරණය වුනේ අරලිය ගහ මන්දිරයෙන්. අපි ඒ තත්වය වෙනස් කළා.’ ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් ලබා නොදීම පිළිබඳව බීබීසීය කළ විමසීමකදී. සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.
‘තමන්ගේ මාධ්‍යයට සවන් දෙන, නරඹන අය ගැන හිතල ආයතනය ගැන තිබෙන විශ්වාසය රැකෙන පරිදි ඒවා පාලනය කර ගැනීම ඔවුන් ගේ වගකීමක්.’ අමාත්‍යවරයා පවසයි.

<link type="page"><caption> අපක්ෂපාතී ව කටයුතු නොකරන පෞද්ගලික මාධ්‍ය ආයතනවලට එරෙහිව කටයුතු කිරීමට තමන්ට බලයක් ලබා දී නොමැති බව මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය දා බීබීසීයට ප්‍රකාශ කර තිබුණි.</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/07/150705_thisara_election_deshapriya" platform="highweb"/></link>
සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් නව රජය ආදර්ශමත් වී තිබේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ රජයේ මාධ්‍ය තම පාලනය යටතේ කිසි විටෙක රජයේ හොරණෑව බවට පත් නොවූ බවයි.
‘අපි මාධ්‍යයෙන් නොවෙයි දේශපාලනය කරන්නේ. අපි දේශපාලනය කරන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරල, විනයක් ඇතිව වැඩ කරල ජනතාවගේ විශ්වාසය දිනා ගෙන. දැන් දැක්කනේ පැය විසි හතරම රාජ්‍ය මාධ්‍ය භාවිතා කරලා, පෞද්ගලික මාධ්‍යවලට බලපෑම් කරල ඒ අයට වෙච්ච දේ.’ ගයන්ත කරුණාතිලක ඇමතිවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AP
මීට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ තම පාලන සමයේ දී දැනට පවතින නිදහසට වඩා වැඩි මාධ්‍ය නිදහසක් පැවතුණු බවයි.
‘මේ නිදහස නෙමෙයි. මීට වඩා නිදහසක් මං හිතන්නේ ඒ කාලේ තිබුනා, තමන්ට ඕනෑ විදිහට. මං නාලිකා නම් කරන එක ඒ තරම් සුදුසු නැහැ. රාජ්‍ය විරෝධීව විශාල වැඩ පිළිවෙලක් ගෙනිච්ච. රජය වෙනස් වුනාට පස්සේ ඒක ප්‍රසිද්ධියේ කිව්වා අපි තමයි මේක කළේ කියල.’ හිටපු ඇමතිවරයා පැවසීය.
වර්තමානයේ ඇතැම් පෞද්ගලික මාධ්‍ය සිය ආයතනයේ අයිතිකරුගේ අවශ්‍යතා ඉටු කරන බවක් එළිපිටම දක්නට ඇති බව ද හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසීයට ප්‍රකාශ කළේය.








