'මහින්දගේ ආරක්ෂාව අඩු කරන්න' -පෙත්සමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සහ වරප්‍රසාද මැතිවරණ කාල සීමාව තුළ අවම කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

එම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ සම සමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිවේදි සේනක පෙරේරා යි.

පෙත්සම් කරු පවසන්නේ මෙවර මහ මැතිවරණයට තරඟ කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සිය පැවති ධුරය වෙනුවෙන් ලැබී ඇති ආරක්ෂාව සහ වරප්‍රසාද උපරිම ලෙස මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty

හිටපු ජනාධිපතිවරයා සතු දෙසීයකට අධික ආරක්ෂක බලකාය සහ රථවාහන සිය මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම තුළින් සෙසු අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදු වන බවයි පෙත්සම්කාර නීතිවේදි සේනක පෙරේරා පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ට පියවර ගත නොහැකි බවට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක ඊට අධිකරණය මැදිහත් වී සුදුසු තීරණයක් ලබා දීම වැදගත් බවයි ඔහු අධිකරණය ඉදිරියේ කියා සිටියේ.

පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස පොලිස්පති, මැතිවරණ කොමසාරිස්, ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ.