දියණිය අහිමි මව වෙත ජනපති මෛත්‍රීගේ කනගාටුව

විද්‍යා සිසුවියගේ ඝාතන සැකකරුවන් විශේෂ අධිකරණයක් හමුවට පමුණුවා වරදකරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
සමූහ දූෂණයට ලක් කොට පාසල් දැරිය මරා දැමීමේ සිදුවීමත් සමග ඇති වූ නොසන්සුන්තාව පිළිබඳ සොයා බැලීම සඳහා යාපනයේ හදිසි සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා සිසුවියගේ ඥාතීන් මුණ ගැසී කනගාටුව ප්‍රකාශ කර සිටි බවත් ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන්.
යාපනයේ පාසල් දාහතක් නියෝජනය කරමින් සිසුවියන් දෙසීයකගේ පමණ සහභාගීත්වයෙන් වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ සිසුවිය ඝාතනය කළ අපරාධකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන බවයි.


විද්‍යා සිසුවියගේ ඝාතකයන්ට උපරිම දඬුවම් ලබා දී කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පාසල් ශිෂ්‍යාවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මේ අතර යාපනයේ උදයාන් පුවත් පත වාර්තා කළේය.
ප්‍රකෝපකාරී පිරිස් අධිකරණ භූමිය ඉදිරියේ හැසිරුණු ආකාරය සහ අධිකරණ ගොඩනැගිල්ලට පහර දීම කෙසේවත් අනුමත කළ නොහැකි බව පවසා ඇති ජනාධිපතිවරයා, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අවධාරණය කර තිබේ.




