යාපනයේ විරෝධතා ව්‍යාපාර තහනම්

යාපනය උසාවියට පහර දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුණ අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය උසාවියට පහර දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුණ අවස්ථාවක්

යාපනය නගරය තුළ කිසිදු ආකාරයක උද්ඝෝෂණයක් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම තහනම් කෙරෙන නියෝගයක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබ ඇත.

අධිකරණය එම පියවර ගෙන තිබෙන්නේ අද යාපනය නගරය තුළ ආරම්භ කරනු ලැබීමට නියමිතව තිබුණ උද්ඝෝෂණ ව්‍යාපාර තුනක් සැලකිල්ලට ගනිමින්.

පුන්කුඩුතීව් ගමේ විද්‍යා සිවයෝගනාදන් දැරිය දූෂණය කොට මරා දැමූ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කෝපයට පත් කණ්ඩායමක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා ගල්මුල් ආදියෙන් පහර දුන් අතර ඊට හවුල් වූවන් 130 දෙනකු පමණ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අගවිනිසුරු ශ්‍රී පවන් යාපනය නගරයේ සිදුවීම් වලින් පසු එහි සංචාරයක
ඡායාරූප ශීර්ෂ වැකිය, අගවිනිසුරු ශ්‍රී පවන් යාපනය නගරයේ සිදුවීම් වලින් පසු එහි සංචාරයක

අද විරෝධතා ව්‍යාපාර තුනක් සංවිධානය කර තිබුණේ එසේ අත්අඩංගුවට ගනු ලැබ සිටින්නන් ඇප මත මුදා හරින මෙන් බල කිරීමටයි.

එම විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ පුද්ගලයන් පවසන්නේ පාසල් දැරිය මරා දැමීම නිසා කෝපයට පත් කණ්ඩායමක් විසින් උසාවියට පහර දී ඇති අතර එය හදිසි මහජන කෝපය පළ වීමක් පමණක් වන බවයි.

මේ අතර පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශයක් කරමින්, අද නිකුත් කෙරුණ උසාවි නියෝගය නොතකා යම් කිසිවකු ක්‍රියා කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි කියා සිටියේ.

යාපනය අධිකරණයට පහර දෙනු ලැබීමට එරෙහිව එහි නීතිඥ මණ්ඩලය ද පසුගිය දා වර්ජන ව්‍යාපාරයකට හවුල් වුණි.