මඩකලපුව දිස්ත්‍රිකයේ ‘හර්තාල්’

යාපනය පුන්ගුඩුතිව් හි විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරිය දූෂණය කොට මරා දැමීම හෙලා දැක අද මඩකලපුව දිස්ත්‍රිකයේ ‘හර්තාල්’ ’ව්‍යාපාරයක් පැවැත්විණ.

මෙම ‘හර්තාල් ’ව්‍යාපාරය හේතුවෙන් දිස්ත්‍රිකයේ දෛනික කටයුතු අඩපණව පැවතී බවයි අප වාර්තාකාරිය ශාන්ති සෙල්ලදොරේ ප්‍රකාශ කළේ.

‘නාම් ද්‍රවිඩ තමිලර්කලින් පෝර් වාල්’ යන නමින් නිකුත් කළ අත් පත්‍රිකාවක් මගින් මෙම විරෝධතාව කැඳවා තිබිණ.

“ඝාතකයන්ට ඉහළම දඬුවම ලබා දිය යුතුයි; ඝාතකයන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටිය යුතුයි.” යන ඉල්ලීම් ද එම අත් පත්‍රිකාවේ අවධාරණය කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රිකයේ, මඩකලපුව නගරය, වාලච්චේනයි, චෙන්කලඩි ,කලවන්චිකුඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල ශිෂ්‍යයන් නොපැමිණීම හේතුවෙන් පාසල් නොපැවැත්විණ.

කඩ සාප්පු, පෞද්ගලික ආයතන, මුල්‍ය ආයතන වසා දමා තිබුණ අතර රජයේ කාර්යාල සහ බැංකු කටයුතු ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූයේ නැත.

දුර ප්‍රවාහන සේවාවන් සීමා වී තිබුණ අතර අභ්‍යන්තර ප්‍රවාහන සේවාවන් අඩාළ වී තිබිණ.

විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරියගේ ඝාතනයට යුක්තිය ඉල්ලා චෙන්කලඩි, වන්දාරමුල්ල සහ කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල උද්ඝෝෂණ හා පෙළපාලි පවත්වා තිබුණ බවයි අප වාර්තාකාරිය පැවසුවේ.

දිස්ත්‍රිකයේ පොලිස් ආරක්ෂාව තර කර තිබූ බවත් ඇය සඳහන් කළාය.

.