ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම ආරම්භ වෙයි

ද්විත්ව පුරවැසි සහතික පත් ඇමතිවරයා අතින්.
ඡායාරූප ශීර්ෂ වැකිය, ද්විත්ව පුරවැසි සහතික පත් ඇමතිවරයා අතින්.

පසුගිය රජය විසින් අත් හිටවනු ලැබ තිබුණ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම ක්‍රියාවට නැංවීම අද (30) ආරම්භ කෙරුණි.

එම වැඩ පිළිවෙල නැවත වරක් ආරම්භ වුනේ වසර හතරකට පසුවයි.

පුද්ගලයන් දෙසීයකට අසන්න පිරිසකට අද ද්විත්ව පුරවැසිභාවය ලැබුණ අතර තවත් හාරසියයකට අසන්න පිරිසක් එම පුරවැසිභාවය බලාපොරොත්තුවෙන් සිටින බවයි ආගමන විගමන දෙපාර්තුමේන්තු වාර්තාවලින් ප්‍රකාශ වන්නේ.

ඉල්ලුම් කරුවන් දෙසීයකට ආසන්න පිරිසකට අදාළ සහතික පත් ප්‍රදානය කරනු ලැබීම බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන සාමය සහ ක්‍රිස්තියානි කටයුතු භාර ඇමති ජෝන් අමරතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර එම අවස්ථාවේ අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම 1987 දී හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන පාලනය විසින් ආරම්භ කරන ලද බවයි.

මහින්ද පාලන සාමය

ද්විත්ව පුරවැසිභාවලාභීන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ද්විත්ව පුරවැසිභාවලාභීන්

එහෙත් පසුගිය රජය සමයේ එම අයිතිය පිරිනැමීම අත්හිටුවන ලද බවත් ඇමතිවරයා සඳහන් කළේය.

‘පසුගිය ආණ්ඩුව 2011 වසරේදී එය නතර කළා. ඊට හේතුව කුමක්ද කියල මම දන්නේ නැහැ. ඒත් අපි ආණ්ඩු බලය ලබා ගත්තාට ඒ ගැන සොයා බැලුවා. එතකොට පෙනී ගියා පිටිපස්සේ දොරෙන් දෙදාහකට විතර ද්විත්ව පුරවැසිභාවය හොරෙන් දීල තියෙන බව. ඒ ගොල්ලන්ගේ නෑදෑයන්ට,මිත්‍රයන්ට ළමයින්ට සහ හිතවතුන්ට’ ජෝන් අමරතුංග ඇමතිවරයා පැවසීය.

එවැනි ක්‍රියාදාමයක ප්‍රතිවිපාකයක් වශයෙන් සාධාරණව එම අයිතිය ඉල්ලා සිටි ජනතාවට එය අහිමි වූ බවයි ඇමතිවරයා පෙන්වා දුන්නේ.

ද්විත්ව පුරවැසිභාවය යළි හඳුන්වා දෙනු ලබන්නේ විදේශගත බුද්ධිමතුන්ට යළි සියරට පැමිණීමට අවස්ථාව උදා කිරීමට යයි ප්‍රකාශ කළ ජෝන් අමරතුංග ඇමතිවරයා එහෙත් වැරදිකරුවන්ට එම අවස්ථාව හිමි නොවන බවත් කියා සිටියේය.

බුද්ධිගලනයට විසඳුමක්

තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ සැලැස්මක් ඇති බවත් හෙළිදරව් කළේය.

ඒ සඳහා අවුරුදු දෙකක පමණ කාලයක් ගත විය හැකි අතර එමගින් පැරණි ගමන් බලපත්‍රය අවලංගු නොවන බවත් ජෝන් අමරතුංග ඇමතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් පවුල් රාශියක් සිය දරුවන් ද කැටුව ඉහත කී අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන්ගෙන් කීප දෙනෙක්ම බීබීසී සංදේශය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සමඟ කියා සිටියේ ලෝකයේ කවර රටක ජීවත් වුනත් යළි ශ්‍රී ලංකාවට පැමිණීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවයි.