නෙලුම් යායෙන් බ්ලොග් අඩවිවලට සම්මාන

ඡායාරූප මූලාශ්‍රය, LankaNewsWeb
කොළඹදී පැවැත්වෙන මේ වසරේ බ්ලොග් සම්මාන උළෙලේදී ගතව ගිය වසරේ හොඳම බ්ලොග් රචකයා ලෙස මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ සම්මාන ලැබීමට නියමිතය.
වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස් අංශයෙන් ප්‍රථම ස්ථානය දමිත් ගුණවර්ධනගේ 'බට්ටි' නිර්මාණයට හිමි වී තිබෙන අතර, දෙවන ස්ථානය හිමි වී තිබෙන්නේ යසෝධා සම්මානි ප්‍රේමරත්න ගේ 'මොඩෙලින් කිරිල්ලි' නිර්මාණයටයි.
2014 හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි වී තිබෙන්නේ 'දසයා' හෙවත් සඳුන් දසනායක ගේ 'ආඩම්බරකාර අපේ තාත්තා' ලිපියට. රවී වීරසිංහ ගේ 'නිල් කට්රොල් මල්' නිර්මාණයට දෙවැනි ස්ථානය හිමි වී තිබේ.
පුරවැසි මාධ්‍ය කලාව තවදුරටත් ජනප්‍රිය කරවීම සහ බ්ලොග් කරුවන් සමාජයේ දැනුම පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමේ උත්සාහයක් වශයෙන් සම්මාන උළෙල සංවිධානය කළ බවයි, එහි සංවිධායක <link type="page"><caption> නෙලුම් යාය සහෘද සමුහය</caption><url href="http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32" platform="highweb"/></link> පවසන්නේ.
බ්ලොග් අවකාශයේ සිංහල බ්ලොග දෙසීයකට අධික ප්‍රමාණයක් තිබෙන බව පවසන ලංකානිවුස්වෙබ් වෙබ් අඩවියට අනුබද්ධ නෙලුම් යාය සහෘද සමූහයේ සංස්කාරක අජිත් ධර්මකීර්ති, බ්ලොග් රචකයන් වඩා උනන්දුවෙන් බ්ලොග්කරණයේ යෙදීමට උනන්දු කිරීම මේ සම්මාන උළෙලේ අරමුණ බව බීබීසී සංදේශයට පැවසීය.
මේ හැරුණු කොට හොඳම බ්ලොග් කෙටි කතාව, විද්‍යා ලිපිය, ගීත විග්‍රහය හා වෙනත් වර්ගීකරණයන් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
ලබන 26 වැනි බ්‍රහස්පතින්දා කොළඹ දී පැවැත්වෙන සම්මාන උළෙලේදී පුරෝගාමී බ්ලොග්කරුවකු වන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, විද්‍යා ලේඛක සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයකු වන නාලක ගුණවර්ධන සහ පුරෝගාමී බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ දේශණ පැවැත්වීමට නියමිතය.




