ලිංගික හිරිහැර: මාධ්‍යවේදිනියන් 'ආරක්ෂා කරන්න'

'බොහෝ මාධ්‍යවේදිනියන් තමාට මුහුණ දීමට සිදු වූ ලිංගික හිරිහැර පිළිබඳව කථා කිරීමට අකමැතියි'

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, 'බොහෝ මාධ්‍යවේදිනියන් තමාට මුහුණ දීමට සිදු වූ ලිංගික හිරිහැර පිළිබඳව කථා කිරීමට අකමැතියි'

සේවා ස්ථානයේදී සහෝදර මාධ්‍යවේදීන් අතින් ලිංගික හිරිහැරවලට ලක්වන මාධ්‍යවේදිනියන් ආරක්ෂා කිරීම පිණිස ක්‍රමවේදයක් සකස් කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් දිලීෂා අබේසුන්දර ඒ බව කියා සිටියේ මාධ්‍යවේදිනියන් ගෙන් සියයට තිහක් පමණ මාධ්‍ය ආයතන තුළදීම ලිංගික හිරිහැරයන්ට ගොදුරු වන බවට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් පවත්වන ලද සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වූ කරුණු පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

කලක් මුළුල්ලේම මාධ්‍ය ආයතන තුල කාන්තාවන් නොසලකා හැරීම සහ ලිංගික හිරිහැරවලට ලක්වීම දක්නට ලැබෙන නමුත් ලාංකීය කාන්තාව සංවිධානගතවීමේ අඩුවක් පැවතීම එයට විරෝධය පෑමෙහිලා ප්‍රධාන බාධකයක් බව ඇය සඳහන් කළාය.

'කාන්තාවන්ට විශේෂිත වූ පහසුකම් සැපයීම ඉතාම අවම මට්ටමක තියෙන්නේ'- දිලීෂා අබේසුන්දර (දකුණේ) මාධ්‍යවේදිනියන් පිරිසක් සමඟ.

ඡායාරූප මූලාශ්‍රය, Dileesha Abeysundara

ඡායාරූප ශීර්ෂ වැකිය, 'කාන්තාවන්ට විශේෂිත වූ පහසුකම් සැපයීම ඉතාම අවම මට්ටමක තියෙන්නේ'- දිලීෂා අබේසුන්දර (දකුණේ) මාධ්‍යවේදිනියන් පිරිසක් සමඟ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පළමු වතාවට මෙවැනි වාර්තාවක් හෝ එළිදැක්වීමට ලැබීම පවා වැදගත් තත්වයක් බවද දිලීෂා අබේසුන්දර පවසන්නීය.

වාර්තාවෙන් හඳුනාගෙන තිබෙන ගැටළු ජනමාධ්‍ය අමාත්‍යවරයා, කාන්තා කටයුතු ඇමතිනිය ඇතුළු බලධාරීන්ට යොමු කොට, මාධ්‍ය ආයතනවලදී නොසලකා හැරීමට සහ ලිංගික අතවරවලට ලක්වන මාධ්‍යවේදිනියන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට මැදිහත් වන මෙන් ඉල්ලා සිටින බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන තුල කාන්තාවන් වෙනුවෙන් විශේෂිත වූ පහසුකම් ලබා දීමේ ක්‍රියාදාමය ඉතා අවම මට්ටමක පවතින බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්වරිය, මාධ්‍යවේදිනියන්ට මෙවැනි අතවරවලට මුහුණදීමට සිදු වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බවද පෙන්වා දෙන්නීය.