යෝෂිත පිළිබඳ හමුදා පරීක්ෂණය 'අවසන්'

සිය පියාගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත කරන මෙන් යෝෂිත රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලෙමක් කොට තිබුණි

ඡායාරූප මූලාශ්‍රය, STR AFP Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය පියාගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත කරන මෙන් යෝෂිත රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලෙමක් කොට තිබුණි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගත්තේ කෙසේද යන්න පිළිබඳව පැවැත්වූ පරීක්ෂණය මීට දින කිහිපයකට ඉහතදී අවසන් කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

එම පරීක්ෂණයේ වාර්තාව ආරක්ෂක අමාත්‍යංශයට යොමු කළ බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා කියා සිටියේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදා මූලස්ථානයට මාරු කිරීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

කෙසේ නමුත් ලබන සඳුදා සිට ඔහු නාවික හමුදා මූලස්ථානයට මාරු කොට තිබෙන්නේ සේවා අවශ්‍යතා මත බවයි, කමාන්ඩර් ඉන්දික සිල්වා පවසන්නේ.

'හෙළි කරන්න බෑ'

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත කරන මෙන් යෝෂිත රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් කරන ලද ඉල්ලීමකින් අනතුරුව එයට අනුමැතිය පළ කළ බව නාවික හමුදාව පසුගියදා නිවේදනය කළේය.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව තුළ විශේෂ වරප්‍රසාද ලබා ගත් ආකාරය සොයා බලන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය, යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව තුළ විශේෂ වරප්‍රසාද ලබා ගත් ආකාරය සොයා බලන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය

ඉන් අනතුරුව ඔහු යළිත් මූලස්ථානයට මාරු කළේ, පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙසින් දැයි සංදේශයේ සරෝජ් පතිරණ විමසීමක් කළ අවස්ථාවේ කමාන්ඩර් ඉන්දික සිල්වා කියා සිටියේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවයි.

එම පරීක්ෂණයේ නිගමණය කවරක් දැයි හෙළි කිරීමට තමන්ට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගත් ක්‍රමවේදය සහ ඔහු නාවික හමුදාව තුළ විශේෂ වරප්‍රසාද ලබා ගත් ආකාරය සොයා බලන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පසුගියදා බීබීසී සංදේශයට පැවසීය.