යෝෂිත නාවික හමුදාවට ගිය ආකාරය සොයන්න -ජවිපෙ

ඡායාරූප මූලාශ්‍රය, JVP

හිටපු ජනාධිපතිවරයා ගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගත් ක්‍රමවේදය හා ඔහු නාවික හමුදාව තුළ විශේෂ වරප්‍රසාද ලබා ගත් ආකාරය සොයා බලන ලෙස ඉල්ලීමක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායකට යි.

එම පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පලාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ නාවික හමුදාව ලුතිනන් යෝෂිත රාජපක්ෂට විදේශ ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කර ඇති ආකාරය විධිමත් නොවන බවයි.

විදේශ ශිෂ්‍යත්ව

එංගලන්තයේ ඩාර්ක්මන් රෝයල් ඇකඩමියේ අධ්‍යාපනය ලැබීමට ලුතිනන් යෝෂිත රාජපක්ෂ සුදුසුකම් ලබා ගත් ආකාරය සොයා බලන ලෙසද මේ පැමිණිල්ලෙන් ඔවුන් ඉල්ලා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, JVP

නාවික හමුදා නිලධාරියෙකු වශයෙන් පත් වී සිටියදී තම සොහොයුරාගේ නිල් බලකාය ට සහයෝගය දක්වමින් ක්‍රියාකාරී වීම පිළිබඳවද මෙම පැමිණිල්ල මගින් ප්‍රශ්ණ කෙරෙයි.

එම පැමිණිල්ල බාරදීම සඳහා බස්නාහිර පලාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල හා කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ සේවයට වාර්තා කර නොමැති නම් ඊට විනයානුකූල පියවර ගන්නා ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

මේ පිළිබඳව නාවික හමුදාපතිවරයාගෙන් වහාම වාර්තාවක් ලබා ගෙන නිසි පියවර ගන්නා බවට ආරක්ෂක ලේකම් ප්‍රතිඥා දුන් බවයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ.