කේපී ට විරුද්ධව නඩු දානවා - ජවිපෙ

"කේපී විසින්ම පෝෂණය කරපු සිය ගණන් තරුණයන් අදත් සිරගෙවල්වල ගෙවනවා අවුරුදු ගාණක් තිස්සේ"

ඡායාරූප මූලාශ්‍රය, www.interpol.int

ඡායාරූප ශීර්ෂ වැකිය, "කේපී විසින්ම පෝෂණය කරපු සිය ගණන් තරුණයන් අදත් සිරගෙවල්වල ගෙවනවා අවුරුදු ගාණක් තිස්සේ"

එල්ටීටීඊ යේ හිටපු නායක කේපී හෙවත් කුමාරන් පද්මනාදන් ට පූර්ණ ආරක්ෂාව සපයන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කථානායක නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වූ අවස්ථාවේ විශේෂ ඉල්ලීමක් කළ බව <link type="page"><caption> සන්ඩේ ටයිම්ස් පුවත්පත</caption><url href="http://www.sundaytimes.lk/150118/columns/corruption-and-abuse-of-power-probes-by-special-tribunals-131235.html" platform="highweb"/></link> වාර්තා කරයි.

මහින්ද රාජපක්ෂ පරිපාලනය සහ කේපී අතර රහසිගත ගණුදෙනුවක් පැවතියේ දැයි පවතින සැකය එම ඉල්ලීම මගින් තවත් සනාථ කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

මේ තත්වය යටතේ ජනතාවට සත්‍යය හෙළි කරන මෙන් ඉල්ලා කේපී ට එරෙහිව සඳුදා අධිකරණයේ නඩුවක් පවරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් බීබීසී සංදේශයට පැවසීය.

"මේ රටේ ජනතාවට සැකයක් තිබෙනවා, කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය නැවු, මුදල්, රත්තරන් ඇතුළු දේ මේ රාජපක්ෂ පවුලේ ය විසින් බෙදාගත්තද? ඒ නිසා ද කුමරන් පද්මනාදන් ට ආරක්ෂාව දෙන්නේ කියන සැකය මතු වෙලා තියෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ප්‍රතිචාරයක් නෑ

තමන් මතු කරන මේ චෝදනා සම්බන්ධයෙන් "ඕනෑ තරම් සාක්ෂි" තිබෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

"කේපී විසින්ම පෝෂණය කරපු සිය ගණන් තරුණයන් අදත් සිරගෙවල්වල ගෙවනවා අවුරුදු ගාණක් තිස්සේ. ඔවුන්ට කිසිම ක්‍රියාමාර්ගයක් නෑ," යනුවෙන්ද රාමලිංගම් චන්ද්‍රසේකරන් සඳහන් කළේය.

තමන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවරීමට සූදානම් වන නඩුව පිළිබඳව බීබීසී දෙමළ සේවය විමසීමක් කළ අවස්ථාවේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කුමාරන් පද්මනාදන් ප්‍රතික්ෂේප කළේය.

රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වන චෝදනා ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් විමසීම පිණිස සාකච්ඡාවක් ලබා දෙන මෙන් සංදේශය පසුගිය සිකුරාදා ඉල්ලීමක් කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, මේ අවස්ථාවේ තමන් එවැනි සාකච්ඡාවකට සූදානම් නොමැති බවයි.