ඉන්දීය අගමැති අනුරාධපුර සහ යාපනයටත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත විය
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත විය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයක් ප්‍රකාර ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය අගමැතිවරයා අනුරාධපුර, තලෙයිමන්නාරම සහ යාපනයේද සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අමතන ඉන්දීය අගමැතිවරයා, සිය සංචාරය අතරතුරදී ඉන්දීය සාමසාධක හමුදා භටයන් වෙනුවෙන් ඉදිකොට තිබෙන ස්මාරකය නැරඹීමටත් නියමිතය.

ඉන්දීය ආධාර සහිතව යළි ඉදිකරන ලද තලෙයිමන්නාරම සහ මැදවච්චිය අතර දුම්රිය සේවාව ඉන්දීය අගමැතිවරයා විසින් සිය සංචාරය අතරතුර විවෘත කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා <link type="page"><caption> විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක</caption><url href="http://www.mea.gov.lk/index.php/en/media/media-releases/5985-official-visit-of-indian-prime-minister-shri-narendra-modi-to-sri-lanka-13-to-14-march-2015" platform="highweb"/></link> දැක්වේ.

සීෂෙල්ස් සහ මොරිෂස්

මාර්තු 13, 14 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ඉන්දීය අගමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බවත් නිවේදනයේ සඳහන්.

වසර 27 කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයයි.

එම සංචාරයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම පිණිස ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

මේ වසර ඇතුලත පළමුවරට විදේශ සංචාරයක නිරත වන ඉන්දීය අගමැතිවරයා සීෂෙල්ස් සහ මොරිෂස් දූපත්වල සංචාරය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවයි, <link type="page"><caption> ඉන්දීය විදේශ අමාත්‍යාංශය</caption><url href="http://www.mea.gov.in/press-releases.htm?dtl/24883/Visit+of+Prime+Minister+to+Seychelles+Mauritius+and+Sri+Lanka+March+1014+2015" platform="highweb"/></link> නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීම පිළිබඳ ගැටලුව ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා උතුරේ සංචාරයක යෙදුනු අවස්ථාවේ ප්‍රතිඥා දුන්නේය.