රාජපක්ෂ සහ මිතුරන්ට එරෙහි 'පරීක්ෂණ ප්‍රමාදයි'

'මහින්ද රාජපක්ෂ, ගේඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව අපි පැමිණිලි කළා'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මහින්ද රාජපක්ෂ, ගේඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව අපි පැමිණිලි කළා'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ 'ගජ මිතුරන්' සම්බන්ධයෙන් කළ පැමිණිලි විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පවසයි.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි 'මහා පරිමාණ' දූෂණ චෝදනා එල්ලවූවන් පිළිබඳව සාක්ෂි සහිතව තමන් පැමිණිලි ඉදිරිපත් කොට තිබෙන බවයි, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින්.

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිරිස් පැමිණිලි කළා. දින සියයෙන් දින පනහකටත් ළං වෙන්න ආවා. නමුත් අදාළ පරීක්ෂණ තවම පවත්වා නෑ," විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.

'යෝෂිත බබා රට'

හිටපු ජනාධිපතිවරයාගේ කණිටු පුත් යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ අනෙක් නිලධාරීන්ට නොලැබුණු වරප්‍රසාද ලැබුණේ කෙසේද යන්න සොයා බලන මෙන් ඉල්ලමින් තමන් ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

'ඉන්දියාවෙන් කේපී ට එරෙහිව පැමිණිලි තිබෙනවා. ඒත් අපේ රටේ පරීක්ෂණ වාර්තා නැහැ. මේ ප්‍රමාදයට හේතුව අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක්ද?'

ඡායාරූප මූලාශ්‍රය, Interpol India

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඉන්දියාවෙන් කේපී ට එරෙහිව පැමිණිලි තිබෙනවා. ඒත් අපේ රටේ පරීක්ෂණ වාර්තා නැහැ. මේ ප්‍රමාදයට හේතුව අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක්ද?'

"ඉක්මනින් කමිටුවක් පත්කර විභාග කරන බව කිව්වා. ඒ ගැන පරීක්ෂණ කරන්න කමිටුව පත් කරලා තියෙන්දි 'යෝ බබා' රට යනවා. කවුද ඔහුට රටෙන් බැහැර දෙන්න ඉඩ දෙන්නේ. එක දවසක්වත් ඔහු කමිටුවට කැඳවා තිබුණේ නෑ," යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එල්ටීටීඊ යේ හිටපු නායක කේපී හෙවත් කුමාරන් පද්මනාදන්ට එරෙහිව රාජපක්ෂ පරිපාලනය විසින්ම බරපතල චෝදනා එල්ල කොට තිබියදීත් ඔහුට විරුද්ධව පියවර ගැනීමෙන් වැලකී සිටින බව ජවිපෙ ආණ්ඩුවට එල්ල කරන තවත් චෝදනාවක්.

"ඉන්දියාවෙන් කේපී ට එරෙහිව පැමිණිලි තිබෙනවා. ඒත් අපේ රටේ පරීක්ෂණ වාර්තා නැහැ. මේ ප්‍රමාදයට හේතුව අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක්ද?"

දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව 'පාරට බසින' බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.