නිදහස් උත්සවය ගැන දෙමළ සන්ධානයේ මතභේද

දශක ගණනාවකට අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රධානම දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය නිදහස් උත්සවයට සහභාගි වීම කැපී පෙනුණු සිදුවීමක්.
කෙසේ නමුත්, සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන් නිදහස් උත්සවයට සහභාගී වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර මතභේදයක් හටගෙන තිබේ.
"දෙමළ ජනතාවට සමානයන් සේ සැලකීමේ අවශ්‍යතාවයක් මේ ආණ්ඩුවට තිබෙන බව පේන්න තියෙනවා. ඒ වගේම දෙමළ ජනතාවගේ ගැටළු වටහාගෙන එයට දේශපාලන විසඳුමක් ලබාදීමේ උනන්දුවක් ඔවුන්ට තියෙන බව පෙනෙනවා," බවයි, උත්සවයට සහභාගී වීමට තීරණය කිරීම පිළිබඳව මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවය කළ විමසීමක දී ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ.
"මගේ සහභාගි වීම මගින්, තිරසාර දේශපාලන විසඳුමක් සොයා යාමේ ගමනේදී අපේ සහයෝගිතාවය දක්වන්න පුළුවන් කියල මට හැඟුනා. ඒ වගේම ඒ මගින් රටේ සියලුම ජනතාවට සාධනීය පණිවුඩයක් ලබා දේවි කියල මට හිතුනා," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
'ව්‍යවස්ථාව පිළිගන්නේ නෑ'
නිදහස් උත්සවයට සහභාගී වීමේ තීරණය උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ඇතුළු ඇතැම් නායකයන්ගේ විවේචනය ලක් වූ බවයි, වාර්තා වෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
දෙමළ ජාතික සන්ධානය නිදහස් උත්සවයට සහභාගි විය යුතු බවට තීන්දුවක් නොගත් බව පවසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා, සම්බන්ධන් සහ සුමන්දිරන් මන්ත්‍රීවරුන් එයට සහභාගි වූයේ සන්ධානය නියෝජනය කරමින් නොවන බව බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.
"අපිට මතක හැටියට 1972 ඉඳල අපි නිදහස් දින උත්සවයට සහභාගි වෙලා නැහැ. මොකද එහෙම සහභාගි වෙනවා කියන්නේ අපි ලංකාවේ ව්‍යවස්ථාව පිළිගන්නවා කියන එක," බවයි, ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා පවසන්නේ.
"අපි ඒක පිළිගන්නේ නෑ. මොන පදනමක් යටතේ ඒ දෙන්න නිදහස් උත්සවයට ගියාද කියල මේ මොහොතේත් අපි දන්නේ නෑ," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
'හමුදා සංදර්ශන'
නිදහස් උත්සවයට සහභාගි වීම පිළිබඳව සිය සන්ධානයේ විසංවාදයක් පවතින බව එහි නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පිළිගත්තේය.
"මම සන්ධානයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයන් එක්ක කතා කළා. ඊට පස්සේ තමයි මේ තීන්දුව ගත්තේ. හැමදෙනාම එකඟ වුනා කියල මම කියන්නේ නෑ, එත් මම ඒ හැමදෙනාම දැනුවත් කළා,"බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව යටතේ පැවැත්වුන නිදහස් දින උත්සවය මීට පෙර තිබුන 'හමුදා සංදර්ශනවලට' වඩා වෙනස් බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"අද නිදහස් දින උත්සවය ඉස්සරට වඩා වෙනස්. කලින් තිබුණේ යුද්ධයේ ජයග්‍රහණය ගැන උදම් අනන උත්සවයක් පමණයි. අද සංහිඳියාවේ අවශ්‍යතාවය අවධාරණය කෙරුණා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.








