යුද අපරාධ පරීක්ෂණයට පොදුරද මණ්ඩල සහයෝගය

නව අගවිනිසුරු සහ උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඇතුළු 'සාධනීය පියවර' පිළිබඳව පොදු රද මඬුල්ලේ ප්‍රසාදය

ඡායාරූප මූලාශ්‍රය, thecommonwealth.org

ඡායාරූප ශීර්ෂ වැකිය, නව අගවිනිසුරු සහ උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඇතුළු 'සාධනීය පියවර' පිළිබඳව පොදු රද මඬුල්ලේ ප්‍රසාදය

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය වශයෙන් 'විශ්වසනීය' පරීක්ෂණයක් පැවැත්වීමේ නව ශ්‍රී ලංකා ආණ්ඩුවේ සැලසුම්වලට පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් හමාරයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා ඒ බව සඳහන් කරන්නේ කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ නායකයන් හමුවීමෙන් අනතුරුව <link type="page"><caption> නිවේදනයක් නිකුත් කරමින්</caption><url href="http://thecommonwealth.org/media/news/secretary-generals-departure-statement-following-official-visit-sri-lanka" platform="highweb"/></link>.

එම දේශීය පරීක්ෂණය පැවැත්වීම සඳහා ආධාර කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානම් බවද ඔහු පැවසීය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර පරීක්ෂණවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි විරෝධය පළ කළ අතර, දේශීය වශයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පවත්වන මෙන් එල්ල වූ බලපෑම් ද ප්‍රතික්ෂේප කළේය.

අගවිනිසුරු පත්කිරීම

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ සභාපතිත්වයෙන් පසුගිය වසරේ නොවැම්බරයේ කොළඹ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව රාජ්‍යා නායකයන් කිහිප දෙනකුම වර්ජනය කළේ පසුගිය රජයේ එම ප්‍රතිපත්තියට විරෝධය පාමින්.

ජනවාරි 08 වැනි දින පැවැත්වුණු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති පදවියට පත් වන අතර, සිය නව පදවියේ වගකීම් පිළිබඳවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව කමලේෂ් ශර්මා සඳහන් කරයි.

කනගසබාපති ශ්‍රීපවන් නව අගවිනිසුරු පදවියට පත්කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඇතුළු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව විසින් ගෙන තිබෙන 'සාධනීය පියවර' පිළිබඳව ද මහ ලේකම්වරයා ප්‍රසාදය පළ කොට තිබේ.