ජලයට අප ද්‍රව්‍ය එකතුවී නෑ - උතුරු විදුලි පෞද්ගලික සමාගම

- Author, දිනසේන රතුගමගේ
- Role, වවුනියාවේ සිට
උතුරු විදුලි පෞද්ගලික සමාගම යාපනයේදී භාවිත කරණ යන්ත්‍ර සූත්‍ර වලින් පළාතේ පානීය ජලයට කිසිදු අප ද්‍රව්‍යයක් එකතු නොවන බවත්, තම සමාගමෙන් කිසිදු පාරිසරික ප්‍රශ්නයක් හට ගෙන නොමැති බවත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ලාල් පෙරේරා බී.බී.සී.සන්දේශයට පැවසුවේය.
මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස 23 සිකුරාදා උතුරු පෞද්ගලික විදුලි සමාගම මාධ්‍යය හමුවක් කොළඹදී පැවැත්වූ අතර එහිදී ඉදිරිපත් කළ කරුණු මොනවාදැයි විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් උතුරු විදුලි පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා එසේ පැවසුවේය.
යාපනයේ ජනතාවත් පරිසර සංවිධාන කීපයකුත් මෙම සමාගමට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ යාපනයේ චුන්නාකම් ඇතුළු පළාත් කීපයක පානීය ජලයට ඉන්ධන සහ වෙනත් අපද්‍රව්‍ය මුසු කරමින් සමාගම විසින් පළාතේ විශාල පාරිසරික ප්‍රශ්නයක් නිර්මාණය කොට ඇති බවයි.
තවදුරටත් අදහස් දැක්වූ ලාල් පෙරේරා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය තුළින් එවැනි පාරිසරික ප්‍රශ්නයක් හට ගන්නා බව පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට පමණක් තීරණය කළ නොහැකි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Chunnakam Power Plant
එවැනි තීරණයකට එළඹිය හැක්කේ විද්‍යාත්මකව මේ පිළිබඳව අවබෝධයක් ඇති අපක්ෂපාතී කමිටුවකට පමණක් නිසා ජනතාවගේ සැකය දුරුවීම සදහා එවැනි කමිටුවක් පත් කරණ මෙන් තම සමාගම අධිකරණයෙන් ඉල්ලා ඇතැයිද සඳහන් කළේය.
දැනට යාපනයේ වැසියන් පිරිසක් විසින් මෙම සමාගමට එරෙහිව යාපනයේ මල්ලාකම් අධිකරණයේ නඩුවක් පවර ඇති බවකී උතුරු විදුලි පෞද්ගලික සමාගමේ නීතිඥ වසන්ත ප්‍රනාන්දු ඉන් චෝදනා නගා ඇත්තේ සමාගමේ යන්ත්‍රවලින් ඉවත්වන ඉන්ධන හේතුවෙන් යාපනයේ චුන්නාකම් පළාතේ පානීය ජලයට විෂ ද්‍රව්‍ය මුසුවන බව යැයි කියා සිටියේය.
නමුත් මල්ලාකම් දිසා විනිසුරුවරයා අදාළ සමාගම් භූමියට පැමිණ කළ පරීක්ෂාවක දී එවැනි දෙයක් දැකගන්නට නොහැකි වූ බව කී සමාගමේ නීතිඥවරයා ලබන 27 වෙනිදා මෙම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලැබීමට නියමිත බවයි කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Chunnakam Power Plant
යාපනයේ විශාල පිරිසක් කොළඹට ගොස් විදුලි බල අමාත්‍යවරයාත් නියෝජ්‍ය අමාත්‍යවරයාත් හමුවීමෙන් පසුව ඔවුන්ගේ තීරණයකට අනුව උතුරු විදුලි පෞද්ගලික සමාගමේ කටයුතු අත්හිටුවන මෙන් ලබා ගත්තේ යැයි කියන නියෝගය පිළිබඳව තොරතුරු විමසූ විට සමාගමේ විධායක අධ්‍යක්ෂවරයාත් ,නීතිඥවරයාත් කියා සිටියේ තම සමාගමට මෙතෙක් එවැනි දැනුම්දීමක් කොට නැති බවයි.
නමුත් යාපනයේ සිට කොළඹට ගිය පිරිස අතර සිටි නීතිඥ ශාන්ත අභිමානසිංහම් 23 දා සවස කියා සිටියේ උතුරු විදුලි පෞද්ගලික සමාගමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවයි.
ඒ ගැන අදහස් දැක්වූ ලාල් පෙරේරා පැවසුවේ මේ අවස්ථාවේදී විදුලි බල මණ්ඩලය තම සමාගමෙන් විදුලිය ඉල්ලා නොමැති නිසා විදුලිය ජනනය කිරීමක් සිදු නොවන බවයි.
යාපනයට සැපයීම සඳහා විදුලිය ප්‍රමාණවත් නොවන විට තම සමාගමෙන් විදුලි බල මණ්ඩලය විදුලිය ඉල්ලා සිටින බවත් එවිට විදුලිය ජනනය කරණ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.








