'ජලය අපවිත්‍ර කළ විදුලි සමාගමට අමාත්‍ය නියෝග'

යාපනයේ පිහිටි උතුරු පෞද්ගලික විදුලි සමාගමේ මෙහෙයුම් නතර කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක උපදෙස් දී ඇති බව උතුරේ ක්‍රියාධරයෝ පවසති.

එහි විදුලි ජනක යන්ත්‍රවලින් නිකුත් වන ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය හේතුවෙන් චුන්නාකම් ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වන බවට උතුරේ වැසියන් පිරිසක් ඇමතිවරයා මුණ ගැසී කරුණ දැක්වීමෙන් අනතුරුව ඇමතිවරයා මෙම පියවර ගත් බවයි ක්‍රියාධරිනී නීතීඥ ශාන්තා අභිමානසිංහම් පවසන්නේ.

මේ වන විටත් විදුලි සමාගම සිය වැඩ අත්හිටුවා ඇති බව ඇය පවසන නමුත් උතුරු පෞද්ගලික විදුලි සමාගමේ විධායක අධ්‍යක්ෂක ලාල් පෙරේරා කියා සිටියේ විදුලි බල ඇමතිවරයාගෙන් කිසිදු නියෝගයක් තමන්ට ලැබී නැති බවයි.

චුන්නාකම් පළාතේ වර්ග කිලෝමීටර 16ක් පමණ දුරට ඉන්ධන හා අපද්‍රව්‍ය කාන්දු වීම නිසා එම පළාත්වල පුද්ගලයින් තිස්පන්දහසක් පමණ දැඩි පාරිසරික ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව පවසමින් පළාතේ වෛද්‍යවරුන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් මීට දින කීපයකට ඉහත සිට ඊට විරෝධය දක්වමින් උපවාසයක්ද දියත් කොට තිබුණි.