ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා - රනිල්

ඡායාරූප මූලාශ්‍රය, AFP

‘දින සියයේ වැඩසටහන’ සාර්ථක කර ගැනීම සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය අවශ්‍ය වන බව නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තු සැසිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

එහිදී විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ ප්‍රධාන පක්ෂ දෙක පමණක් නොව, අනෙකුත් පක්ෂද එක්ව පොදු ගමනක් යාමට එකඟ වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරන බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රාජ්‍ය සංකල්පයට අනුකූලව ඉදිරිපත් කරන බවත් අගමැතිවරයා පැවසුවේය.

ජාතික ප්‍රශ්නය සඳහා වන විසඳුම් දහතුන් වන සංශෝධනයට අනුව සිදු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සිංහල දෙමළ හා මුස්ලිම් යන සියලු දෙනාට ශ්‍රී ලාංකිකයන් ලෙස ජිවත් විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතු බව අවධාරණය කළේය.

අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයෙන් පසු මුල් වරට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ බව කියා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

ඊට අමතරව දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙන දහනව වන සංශෝධනය, ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත, ජාතික විගණන පනත හා තොරතුරු දැන ගැනීමේ පනත දින සියය තුළ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

ජනවාරි විසිනව වනදා ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය යෝජනාව මගින් සාමාන්‍ය ජනතාවට සහන රැසක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ නව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ නව රජයේ දින සියයේ වැඩ පිළිවලට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි.