අගමැති පත් කිරීම නීති විරෝධීයි - විපක්ෂය

ඡායාරූප මූලාශ්‍රය, AFP
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සංදේශය, කොළඹ
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී නමුත් එයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) විපක්ෂය තීරණය කොට තිබේ.
මේ මාසය අගභාගයේ පාර්ලිමේන්තුව කැඳවූ විට එම පත්කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශයක් කිරීම හැරුණු විට අන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට සන්ධානය තීරණය කොට තිබෙන බව බීබීසී සංදේශයට අනාවරණය වේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු නව ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙලට පූර්ණ සහාය පළ කරන බව සන්ධානයේ නායකයෝ සෙනසුරාදා <link type="page"><caption> නිවේදනය කළහ.</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150110_dinesh_on_100_day_programme" platform="highweb"/></link>
යහපාලනයක් ඇතිකරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පළමු නිල කාර්යයම නීතිවිරෝධී නම් යහපාලනයක් බලාපොරොත්තු වන්නේ කෙලෙස දැයි මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා ප්‍රශ්න කොට තිබුණි.
බැසිල් ඇමෙරිකාවට
පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම පිණිස සාකච්ඡා පැවැත්වෙන බව නව ජනපතිවරයාගේ සමීපම හිතවතෙකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

මේ අතර එජනිස සන්ධානයේ නායකයන් කිහිප දෙනකුද නව කැබිනට් මණ්ඩලයට ඇතුලත් කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
කෙසේ නමුත් මේ අවස්ථාවේ ආණ්ඩුවට එකතු නොවන මෙන් ආණ්ඩුවේ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබෙන බවද සංදේශයට සැලවේ.
විශේෂයෙන්ම එවන් විශාල පිරිසකට නාම යෝජනා ලබාදීමේදී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බැවින් ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයෙන් අනතුරුව තමන් සමඟ එක්වන මෙන් ආණ්ඩුව ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.

මේ අතර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය බිරිඳද සමඟ ඉරිදා උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ.
ඔහු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳව සැලවීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මෙසේ රටින් පිටව ගිය බවයි, ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සංදේශයට අනාවරණය වෙන්නේ. ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කිසිදු බාධාවකින් තොරව පිටව ගොස් තිබේ.
හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ද තමිල්නාඩුවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ජනපතිවරණයේදී සිය ආසනය පරාජය වුවහොත් ශ්‍රී ලංකාව අතහැර තමිල්නාඩුවේ පදිංචියට යන බව ඔහු සඳහන් කොට තිබුණි.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට පළ වන වාර්තා පිළිබඳව සෙනසුරාදා මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ සෙනසුරාදා සවස් යාමය දක්වා ඔහු මාලදිවයිනට ලඟා නොවූ බව මාලදිවයිනේ බලධාරීන් අගමැතිවරයා කළ විමසීමකදී තහවුරු කළ බවයි.








