කහවත්ත වෙඩි තැබීම: නියෝජ්‍ය ඇමති ඇල්ලීමට නියෝග

ඒ වෙලාවේ ඒ අය විසින්ම තියපු එකක් වැදිලා වෙන්න ඇති ගොඩාක් දුරට -විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර

ඡායාරූප මූලාශ්‍රය, powermin.gov.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒ වෙලාවේ ඒ අය විසින්ම තියපු එකක් වැදිලා වෙන්න ඇති ගොඩාක් දුරට -විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර
    • Author, අජිත්ලාල් ශාන්ත උදය
    • Role, රත්නපුර ප්‍රාදේශීය වාර්තා කරු

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා කහවත්ත නගරයේ දී ප්‍රචාරක රැළියක් සංවිධානය කරමින් සිටි පිරිසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා නියෝග කරයි.

කහවත්ත නගරයේ ප්‍රචාරක සැරසිලි කරමින් සිටි පිරිසකට සඳුදා අලුයම වෙඩි තබා තුවාල සිදු කළ බවට ලැබුණු පොලිස් පැමිණිල්ලක් මත නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට අමතරව සබරගමු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර දර්ශන ද සිල්වා යන අය ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඉහත කී ප්‍රහාරයේ දී වෙඩි වැදී තුවාල ලැබ සිටින එක් අයකුගේ තත්වය බරපතළ බව රත්නපුර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

චෝදනාව

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල
ඡායාරූප ශීර්ෂ වැකිය, රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි තම ආධාරකරුවන්ට ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිසක් පැමිණ වෙඩි තැබූ බවයි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල කියා සිටියේ.

එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර කියා සිටියේ කහවත්තේ පිහිටි තම පක්ෂයේ කාර්යාලයක් කඩා දමා තිබූ බවයි.

'ඒ අයම තියපු එකක් වැදිලා'

‘හාර පන්සීයක වගේ සෙනගක් හිටියා. වාහනත් ගොඩක් තිබුණා. ඒ වෙලාවේ අපේ කාර්යාලයට ගහනවා දැක්කා. එහෙම කරලා අපේ මිනිස්සුන්ට ගහන කොට පොලීසියෙන් හිටියා. මම ඇහුවා මොකක්ද මේ කරන්නේ, බලා ඉන්නේ කියලා. නෑ නෑ මේක අපි විසදන්නම් කියලා යන්න කිව්වා. මගේ ආරක්ෂක නිලධාරිනුත් කිව්වා කට්ටිය ගොඩක් ඉන්න නිසා මෙතනිං යමු කියලා. අපි හරෝගෙන ගියා. ඒ යන කොටත් පොලු ගල් ගගහ ඉස්සරහට ආවා. අපි එතනින් ආවාට පස්සේ වෙච්ච දේවල් මම දන්නේ නෑ.’ නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

‘මට කිසිම අවශ්‍යතාවක් නෑ නිකම් මේ අනවශ්‍ය ප්‍රශ්නදාගෙන නීතිමය ගැටලු දාගන්න. දැනට ආරංචිවෙලා තියනවා මේ කණ්ඩායම අතරේ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් ඉන්නවා කියලා. ආයුධ තියාගෙන ඒ අය අතර ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒ අය විසින්ම තියපු එකක් වැදිලා වෙන්න ඇති ගොඩාක් දුරට’ ඔහු තවදුරටත් පැවසීය.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ජනතාව වීදි බැස කහවත්ත නගරයේ ඉදි කර තිබූ ජනාධිපතිවරයාගේ තොරණ සහ කටවුට් කඩා දමා ඒවා ගිනිබත් කරමින් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා වන අන්දමින් හැසුරුණු බව පොලීසිය පවසයි.