ආබාධිත සෙබලාගේ බොරු කකුලත් අහිමි කරයි
සිය පක්ෂයේ මහියංගණය කාර්යාලයට වෙඩි තබා පක්ෂයේ ආධාර කරුවන් කීප දෙනකුට තුවාල සිදු කොට ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.
මහියංගණයේ නිදහන්ගල ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාර්යාලය ඉදිරිපිට දී අහසට වෙඩි තැබූ ප්‍රහාරකයන් කාර්යාලයේ සිටි පුද්ගලයන්ට පහර දී එහි තිබුණ රථ වාහන සහ යතුරු පැදි ආදිය විනාශ කර දමා ඇති බවයි වාර්තා වන්නේ.
ජනරාල් සරත් ෆොන්සේකා පවසන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් දෙදෙනකුගේ මෙහෙයුමෙන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
සිය පක්ෂයේ තුවාල ලද ආධාරකරුවන් බැලීමට රෝහලට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මාධ්‍යයට අදහස් දක්වමින් මැර ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ ආබාධිත රණවිරුවන්ට බවයි කියා සිටියේ.
ප්‍රහාරකයන් පුනරුත්ථාපනය
‘ප්‍රහාරයට ගොදුරු වූ හිටපු කර්නල්වරයා ආබාධිත රණවිරුවෙක්. ඔහුට තියෙන්නේ එක කකුලයි. ඔහුගේ ඉතිරි හොඳ කකුලත් කඩා ඔහු මරා දැමීමට උත්සාහ කළ ප්‍රහාරකයන් බොරු කකුල අර ගෙන ගිහින්’ ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.
මෙය රණවිරුවන්ට ආණ්ඩුව සලකන ආකාරය සම්බන්ධයෙන් පණිවුඩයක් වන බවත් ඔහු කියා සිටියි.
කෙසේ වුවද, තම පක්ෂය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක ඉවසීමෙන් කටයුතු කරන බව සඳහන් කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, තම කාර්යාලයට පහර දුන් එසේම ප්‍රදේශයේ සාමයට හානිකර ප්‍රහාරකයන් ජනවාරි අට වෙනි දින තම ජයග්‍රහණයෙන් අනතුරුව පුනරුත්ථාපනය කිරීමට යවන බවයි අවධාරණය කළේ.