හිටපු අගවිනිසුරුවරිය යළි පත් කරනවා -මෛත්‍රී

තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් හිටපු අගවිනිසුරුවරිය යළිත් එම තනතුරෙහි පිහිටුවන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යහපාලනයක් උදෙසා ඉදිරිපත් කර ඇති දින සියයේ වැඩසටහන් මාලාවේ යි.
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දේශපාලන පලි ගැනීම්වලට ලක් වී ඇති බවත් එම නිසා ඔවුන් දෙදෙනාට සාධාරණය ඉෂ්ට කිරීමට කටයුතු කරන බවයි එහි සඳහන් වෙන්නේ.
මීට අමතරව කැසිනෝ ව්‍යාපාර සඳහා දැනට ලබා දී ඇති විශාල බදු සහන ඉවත් කිරීමට කටයුතු කරන බවද පොදු අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
කැසිනෝ

ඡායාරූප මූලාශ්‍රය, Amal Jayasinghe
නමුත් 2010 දී කැසිනෝ ව්‍යාපාරය නීතිගත කරමින් සම්මත කර ගත් පනත පිළිබඳව යමක් පැහැදිලිව මෙහි සඳහන් කර නොමැති බවයි මෙම ප්‍රතිපත්ති මාලාව පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ කියා සිටියේ.
ජනතාවට විශාල ආර්ථික සහන ලබා දීමට පොරොන්දු කිහිපයක් සඳහන් කර ඇති මුත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා ක්‍රමයක් පිළිබඳව සාර්ථක පැහැදිලි කිරීමක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දක්නට නොමැති බවද ඔහු පැවසුවේය.
‘නමුත් මෙහි සඳහන් වෙනවා ලංකාවේ දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘතිවල දැවැන්ත දුෂණයක් පවතින නිසා එම සමාගම් සමඟ නැවත සාකච්ඡා කර මිල ගණන් යළි අඩු කර ගත හැකි බව. ඒ වගේම ලංකාව ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර පොලී වාරිකය අඩු කර ගත හැකි බවත් මෙහි සඳහන් කර තිබෙනවා.’ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ පැවසීය.




